පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

May 11, 2026   12:23 pm

යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය.

ඒ අනුව මේ සතිය තුළදී පොහොර ගැටලුව විසඳෙනු ඇති බවත් ගොවීන් සංවේදී බැවින් බොරුවට රට තුළ පොහොර හිඟයක් මවා නොපාන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

රට තුළ පොහොර මේ වනවිට ප්‍රමාණවත් තරම් පවතින බවත් මහ කන්නයට පවා පොහොර ගෙන ඒමට රජය වැඩසටහනක් මේ වනවිටත් සකස් කර අවසන් බවද තුෂාර වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර , වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබාගැනීමට මුදල් ලබාදුන්නත්, තවමත් ඒවා නොලැබීම හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටී.

එවන් පසුබිමක දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ගොවීන්ට ගොවිජන සේවා කාර්යාල හරහා ප්‍රමිතියෙන් තොර පොහොර ලබාදීම හේතුවෙන් ඔවුන් දැඩි අසීර‍ැතාවට පත්ව ඇති බවට වාර්තා වෙයි.

යල කන්නයට අවශ්‍ය පොහොර වර්ග සියල්ල මේ වනවිට රටතුළ පවතින බවත් එම පොහොර ගොවියා අතට පත්කිරීමේ යාන්ත්‍රණය මේ වනවිටත් දියත්කර ඇති බවටත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් ප්‍රකාශ කරන පසුබිමක තවමත් පොහොර නොලැබුණු ගොවීන් පිළිබඳ දිස්ත්‍රික්ක රැසකින් වාර්තා වෙයි.

මේ අතර, පවතින පොහොර ඌනතාවය හේතුවෙන් ගොයම බාල වී දිලීර රෝගවලට ගොදුරු වෙමින් පවතින බව ගොවීන් පවසයි.

මඩ පොහොර යෙදීමට අවශ්‍ය වුවත් ඒවා සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බවද  සඳහන් වෙයි.

අප්‍රේල් මාසයේදී මඩ පොහොර ලබා ගැනීම වෙනුවෙන් ගොවිජන සේවා කාර්යාල වෙත ගොවීන් මුදල් ලබා දී තිබුණත් මේ වනතෙක් ඔවුන්ට ප්‍රමාණවත් පරිදි පොහොර ලැබී නොමැති බව සඳහන් වෙයි.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය, මහවැලි සී කලාපයේ ගොවීන්ට සඳුන්පුර ගොවිජන සේවා කාර්යාලය හරහා රුපියල් 13250කට ලබාදුන් මඩ පොහොර ප්‍රමිතියෙන් තොර බවට ගොවීන් චෝදනා කරයි.

කිලෝග්‍රෑම් 50 පොහොර මිටි ගල් වී ඇති බවත්, ඒවා කුඹුරුවලට භාවිත කළ නොහැකි බවත් ගොවීන් පෙන්වා දෙයි.

ලබාදී ඇති මෙම පොහොර මිටිවල නමක්, නිෂ්පාදිත දිනයක් හෝ කල්ඉකුත් වන දිනයක් සඳහන් ව නොමැති බවද ගොවීන් පවසයි.