මාස 02දී තෙල් බැරල් බිලියනයක් වෙළෙඳපොළට සැපයීමට තිබූ අවස්ථාව අහිමි වෙයි
May 10, 2026 08:17 pm
පසුගිය මාස දෙකක කාලය තුළ, බොරතෙල් බැරල් බිලියනයක පමණ ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට සැපයීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බව Saudi Aramco සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමීන් නසාර් පවසයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නාවික ගමනාගමන බාධාවන් හේතුවෙන් බලශක්ති වෙළෙඳපොළ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් අමීන් නසාර් සඳහන් කළේ, තෙල් සැපයුම් මාර්ග යළි විවෘත කළද, අඩාල වූ වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවය.
අමෙරිකා - ඊශ්‍රායල යුද්ධයත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම දැඩි ලෙස සීමා වී තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
"සැපයුම් මාර්ග යළි විවෘත කිරීම සහ බැරල් බිලියනයක් අහිමි වූ වෙළෙඳපොළක් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම යනු කරුණු දෙකක්," යැයි නසාර් මහතා අවධාරණය කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහරිමින් රතු මුහුද හරහා බොරතෙල් ප්‍රවාහනය කිරීම සඳහා Aramco සමාගම සිය "නැගෙනහිර-බටහිර නල මාර්ගය" භාවිත කරන බවත්, මෙම ගෝලීය සැපයුම් අර්බුදය අවම කිරීම සඳහා එය තීරණාත්මක මෙහෙවරක් ඉටු කරන බවත් ඔහු පැවසීය.
මෙම අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද, Aramco සමාගම සිය පළමු කාර්තුව සඳහා ශුද්ධ ලාභයේ 25% ක වර්ධනයක් වාර්තා කර තිබේ.
සැපයුම් මාර්ගවල වෙනස්කම් සිදු වුවද, ආසියානු කලාපය තවමත් තම සමාගමේ ප්‍රධානතම ඉලක්කය සහ ගෝලීය ඉල්ලුමේ කේන්ද්‍රස්ථානය බව නසාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
