ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

May 10, 2026   06:39 am

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (10) යෙදී තිබේ.

සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.

උපන් දා සිට මව ජීවිතය කරගත් සමාජයක ඒ සෙනෙහසේ මහිමය තව තවත් සිහි කැඳවා ගැනීමට මෙම දිනය වැදගත් වනු ඇත.

මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවකි.

ඇගේ මව ඈන් රීවිස් ජාවිස්ගේ නම් කාන්තාවක් වූ අතර ඇය අමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර මව්වරුන් සහ සොල්දාදුවන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයන් වර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රජා සංවිධායකවරියක්ද වූවාය.

1905 වසරේදී ඈන් රිවිස් ජාවිස්ගේ අභාවයෙන් පසු ඇනා ජාවිස්ට ඇගේ මව වෙනුවෙන් ගෞරව කිරීම සහ ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීමට හැකි දිනයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වී තිබේ. 

ඒ අනුවය ඇගේ එම උත්සාය සාර්ථක වෙමින් 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි මාසයේ දෙවන ඉරිදා දින මව්වරුන්ගේ දිනය ලෙස නම් කෙරුනු අතර එදින නිවාඩු දිනයක් ලෙසද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව එදින සිට ලොව පුරා සෑම වසරකම මැයි දෙවන සතියේ ඉරිදා දින ලෝක මව්වරුන්ගේ දිනය ලොව පුරා සමරනු ලැබේ.

කෙසේ වෙතත් මව්වරුන්ගේ දිනයක් නිර්මාණය වුවද වර්තමානයේ මව්වරුන් වැඩි පිරිසකට දරුවන්ගේ රැකවරණය නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද වාර්තා වේ.

උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපට ඒ සෙනෙහෙසේ මහිමය තව තවත් සිහි කැඳවා ගන්නට අද දිනය වැදගත් වන්නේ මවගේ ගුණ සිහි නොවන ස්වල්පයක් වූ දරුවන් සිටින නිසාවෙනි.