PayPal ළඟදීම ශ්‍රී ලංකාවටත්?
May 7, 2026 10:13 pm
PayPal සේවාව මෙරටට හඳුන්වාදීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
එම සේවාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම, ශ්‍රී ලාංකීය ඩිජිටල් ව්‍යවසායකයන්ට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සහ නිදහස් වෘත්තිකයන්ට නව අවස්ථා රැසක් විවෘත කරන ඓතිහාසික පියවරක් වනු ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව, ගෝලීය වෙළෙඳපොළ තුළ සේවාවන් සපයන ශ්‍රී ලාංකීය Freelancers හට තම ආදායම සෘජුව, සුරක්ෂිතව සහ පහසුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට පවතින බාධා ඉවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම, තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්රය හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට ද මෙය සෘජු දායකත්වයක් ලබාදෙනු ඇතැයි සඳහන්ය.
කුඩා හා මධ්‍ය පරිමාණ ඩිජිටල් ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන සහ සේවාවන් ලොව ඕනෑම රටක පාරිභෝගිකයන් වෙත පහසුවෙන් අලෙවි කිරීමට අවස්ථාව සැලසීමද මෙම වැඩපිළිවෙළේ තවත් ප්‍රධාන අරමුණකි.
මීට අමතරව, ශ්‍රී ලංකාව තුළ මුදල් රහිත ගනුදෙනු ප්‍රචලිත කිරීම සහ මූල්‍ය තාක්ෂණික ක්ෂේත්රයේ නවෝත්පාදනයන් දිරිමත් කිරීම සඳහාද මෙම පියවර වැදගත් වනු ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
