වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
May 7, 2026 07:38 am
වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වියට්නාම් ජාතික සැකකරුවන් හා සැකකාරියන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර විදෙස් ජාතික සැකකරුවන් 41 දෙනෙකු හා සැකකාරියන් 33 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.
ඊයේ (06) සවස කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හා සැකාරියන් අවුරුදු 19 ත් 39 ත් අතර වයස්වල පසුවන පිරිසක්වන අතර කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර තවත් විදෙස් ජාතික සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වරදට ගන්දර, තළල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී මෙම පිරිස ඊයේ (06) සවස මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් සංචාරක වීසා මගින් ව්‍යාපාර සිදුකිරීම හා තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි ලඟ තබාගැනීම ද සිදුකර ඇති බවය.
සැකකරුවන් හා සැකකාරිය අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන තායිවාන් හා චීන ජාතිකයින් වේ.
ගන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
