ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෙකුට වරෙන්තු
May 5, 2026 03:18 pm
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
අදාල නඩුවේ දොළොස්වන සාක්ෂිකරු අද (05) සාක්ෂි ලබා දීම සඳහා අධිකරණයේ පෙනී සිට නොමැති බව සඳහන් වෙයි.
ඒ අනුව, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර තිබේ.
