අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇති බව විපක්ෂය කියයි 

අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇති බව විපක්ෂය කියයි 

May 5, 2026   02:24 pm

රජය අධිකරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් සිදු කරනු ලබයි. 

විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පසුගිය මැයි රැලියේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවය. 

මේ මස 25 වනදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නඩු තීන්දුවකින් අනතුරුව අත්පොලසන් නැගීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

මෙම ප්‍රකාශය ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයට එල්ල කළ බරපතළ තර්ජනයක් බව ඔවුන් පෙන්වා දෙයි. 

අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීමට වචනයෙන් හා ක්‍රියාවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියා කළ යුතුය.

අදාළ ප්‍රකාශය අධිකරණය විධායකයේ අභිමතයට යටත් කරගැනීමට දරන උත්සාහයක් ලෙස දකින බව ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කරති. 

ජනාධිපතිවරයා විසින් සිදු කළ එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අධිකරණය මගින් ලබාදීමට නියමිත නඩු තීන්දුවක් පිළිබඳව පෙර දැනුමක් ජනාධිපතිවරයාට ඇති බවය. 

යුක්තිය ඉටුවීම පමණක් නොව එය ඉටුවීම පැහැදිලිව හා නිසැකවම පෙනෙන්නට තිබීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියේ මූලික මූලධර්මයකි. 

අධිකරණය වගකීමට බැඳී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මිස විධායකයට නොවන බවත්, ශ්‍රී ලංකාවේ අධිකරණයට බලය ලබා දෙන්නේ ජනතාවගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිස ජනාධිපතිවරයෙකුගේ, ඇමතිවරයෙකුගේ හෝ කිසිදු දේශපාලන සන්ධානයක අභිමතය පරිදි නොවේ.

මෙරට මහජනතාව තවමත් ගෞරවය භුක්ති විඳින ආයතන කිහිපයෙන් එකක් වන්නේ අධිකරණයයි. 

මෙවැනි ප්‍රකාශ තුළින් අධිකරණය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමන් උපරිම ලෙස කැප වන බව අවධාරණය කරන බව විපක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.