ආශ්චර්යමත් ගස ගැන ඇසෙන අරුම පුදුම කතාව
April 30, 2026 11:19 am
"ආශ්චර්යමත් ගස" ලෙස හැඳින්වෙන මුරුංගා ගසෙහි ඇටවලට, පානීය ජලයේ අඩංගු PVC මයික්රොප්ලාස්ටික් අංශු 98.5%ක් දක්වා ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බව බ්‍රසීලයේ සහ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇත.
මීට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණ වාර්තාවට අනුව, ජලය පිරිපහදු කිරීම සඳහා දැනට බහුලව භාවිතා වන රසායනික ද්‍රව්‍යවලට සමාන කාර්යක්ෂමතාවයකින් මුරුංගා ඇට ක්‍රියා කරන බව තහවුරු වී තිබේ.
මුරුංගා ඇට "කැටිකාරකයක්" (Coagulant) ලෙස ක්‍රියා කරමින් ජලයේ ඇති කුඩා මයික්රොප්ලාස්ටික් අංශු එකිනෙක ඇලවීමට සලස්වයි. එමගින් එම අංශු විශාල වී පහසුවෙන් පෙරා ඉවත් කළ හැකි තත්ත්වයට පත් වේ.
පර්යේෂකයන් අවධානය යොමු කළේ ජලයේ බහුලව දක්නට ලැබෙන හානිකර PVC මයික්රොප්ලාස්ටික් ඉවත් කිරීම කෙරෙහි වන අතර, මිනිස් කෙස් ගසක ඝනකමෙන් හතරෙන් එකක් පමණ වන ඉතා කුඩා අංශු ඉවත් කිරීමට මෙමගින් හැකි වී ඇත.
දැනට භාවිතා වන 'ඇලුමිනියම් සල්ෆේට්' වැනි රසායනික ද්‍රව්‍ය මෙන් නොව, මුරුංගා ඇට ස්වභාවිකව දිරාපත් වන අතර පරිසරයට විෂ සහිත නොවේ. ඇලුමිනියම් අධික ලෙස ශරීරගත වීම ස්නායු රෝග ඇති වීමට බලපෑ හැකි බව විද්‍යාඥයෝ පවසති.
එක් මුරුංගා ඇටයකින් ජලය ලීටර් 10ක් පමණ පිරිපහදු කළ හැකි බව පර්යේෂකයෝ පවසති. විශාල නගරවල ජල පිරිපහදු පද්ධති සඳහා මුරුංගා ඇට විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින්, මෙම ක්‍රමය දැනට කුඩා ප්‍රජාවන් සඳහා හෝ රසායනික ද්‍රව්‍ය සපයා ගැනීමට අපහසු ප්‍රදේශ සඳහා වඩාත් සුදුසු වනු ඇත.
ලොව පුරා නළ ජලයෙන් 83%ක පමණ මයික්රොප්ලාස්ටික් අඩංගු බව 2024 අධ්‍යයනයකදී හෙළි වී ඇති පසුබිමක, මෙවැනි ස්වභාවික විසඳුමක් සොයා ගැනීම සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ. ඉදිරි පර්යේෂණ මගින් අනෙකුත් ප්ලාස්ටික් වර්ග සහ ඉතා කුඩා 'නැනෝප්ලාස්ටික්' (Nanoplastics) ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට නියමිතය.
