වසර 7කට පසු ශම්මිට අහිමි වූ ක්‍රිකට් පුටුව

වසර 7කට පසු ශම්මිට අහිමි වූ ක්‍රිකට් පුටුව

April 29, 2026   09:58 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා නව පරිවර්තන කමිටුවක් පත්කරමින් ක්‍රීඩා ආමාත්‍යාංශය සඳහන් කළේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට සාමාජිකයන් 9 දෙනෙක් ඇතුළත් බවය.

මෙම පරිවර්තන කමිටුව පත්කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් විධායක කමිටුව අද (29) පෙරවරුවේ නිල වශයෙන් සිය ධුරවලින් ඉල්ලා අස් වීමෙන් පසුවය.

2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තේරී පත් වූ ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මේ දක්වා වසර 7ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නිරතවිය.

2019 වසරේ සිට අවස්ථා 4කදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජයගත් ශම්මි සිල්වා සභාපතිවරයා ලෙස තේරීපත්වූ අතර ඉන් අවස්ථා තුනකදීම ඔහු ජයග්‍රහණය කළේ නිතරගයෙන් වීම විශේෂත්වයකි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම සහ පරිපාලනයට දිගින් දිගටම එල්ලවූ චෝදනා හේතුවෙන් ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පරිපාලනය වෙනස්කළ යුතු බවට බොහෝ පාර්ශව වලින් යෝජනා ඉදිරිපත් විය.

එවන් පසුබිමක පසුගිය සිකුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් පරිපාලනයට එල්ල වී තිබෙන ජනතා අප්‍රසාදය සහ ඔවුන්ට එල්ලවී ඇති මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්ෂණ පිළිබඳ එහිදී සාකච්ඡා සිදුකළ බව වාර්තා වේ.

එවන් වාතාවරණයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමක් ඊයේ පැවති අතර ධූරකාලයේ මාස 11ක පමණ කාලයක් තිබියදීම ශම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා විධායක කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය  සහ විධායක කමිටුවත් සිය ධූරවලින් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම ඉල්ලා අස්වීම පිළිගත් ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්නගේ සභාපතීත්වයෙන් යුත් පරිවර්තන කමිටුවක් පත්කළේය.

එම පරිවර්තන කමිටුවට තවත් සාමාජිකයන් 8 දෙනකු ඇතුළත් අතර ඒ සාමාජිකයන් මෙසේය.

සිදත් වෙත්තමුණි 
රොෂාන් මහානාම
කුමාර් සංගක්කාර
ප්‍රකාෂ් ශාෆ්ටර්
තුශිර රදැල්ල
උපුල් කුමාරප්පෙරුම
ඩිනාල් ෆිලිප්ස්
අවන්ති කොළඹගේ