අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කරයි

අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කරයි

April 28, 2026   09:25 pm

අස්වැසුම ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා නිවැරදි කිරීමට අද (28) මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී, දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ ඇති නිර්ණායක සංශෝධනය කිරීම, ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වඩාත් නිවැරදිව ප්‍රතිලාභීන් හඳුනා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.

තවද, දිගුකාලීන ලෙස පනත් සංශෝධන කිරීම වැනි පියවරයන් සමඟ, කෙටි කාලීනව ක්‍රියාත්මක කළ හැකි විසඳුම්ද හඳුනා ගැනීමට මෙහිදී අවධානය යොමු විය.

ඊට අමතරව, පුරප්පාඩු පිරවීම, ග්‍රාම නිලධාරීන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීම, ගෙවීම් ක්‍රමවේද සංශෝධනය සහ ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ,  කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරු මෙන්ම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.