රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් - අගමැති හරිනි

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් - අගමැති හරිනි

April 28, 2026   06:28 pm

වත්මන් ලෝකයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ කෘෂිකර්මාන්තය මත අභියෝගාත්මක තත්වයක් ඇතිව තිබෙන බවත්, රටක ආහාර සුරක්ෂිතතාව රටේ ස්ථාවරත්වය හා ස්වෛරීත්වය මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන වැදගත් අංශයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කෘෂිකර්ම සංවර්ධනය සදහා වූ ජාත්‍යන්තර අරමුදල සහ ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිපාදන ලබාදෙන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහනේ ග්‍රාමීය තරුණ තරුණියන් කෘෂි ව්‍යාපාර සදහා සවිබලගැන්වීම අරමුණු කරගනිමින් "සැප්" ජාතික තරුණ කෘෂි - ව්‍යාපාරික ප්‍රදර්ශනය හා B2B සම්බන්ධතා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යවරිය බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී  අද (28) පෙරවරුවේ මේ බව පැවසීය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"රටේ විවිධ බාධක මධ්‍යයේ වුවද මෙම උත්සවය සංවිධානය කිරීම අගය කරනවා. ඔබ සියලු දෙනා රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ⁣වගේම  රටේ ආර්ථිකයට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.ඔබ වැනි දක්ෂ කෘෂි ව්‍යවසායකයින් දක්නට ලැබීම ආඩම්බරයක්. රටක ජාතික ආරක්ෂාවටත්,  කෘෂිකර්මාන්තය මූලික කරගත් ආහාර සුරක්ෂිතතාව බලපානවා.වගේම  "Grow and sell"වැනි සංකල්ප ඔස්සේ නිෂ්පාදන ආර්ථිකය සවිබලගැන්වීම සිදුවෙනවා.

කොවිඩ් අර්බුද සමය තුළ වුවත් වත්මන් මැද පෙරදිග යුධ අර්බුද හමුවේ වුවත් රටවල ආහාර සුරක්ෂිතතාව නොමැති නම් රටේ ආර්ථිකය අභියෝගයට ලක්වනවා. විශේෂයෙන් නායකයින්ගේ සුලු තීරණයක් මගින් වුවද සැපයුම් දාමය අවහිර වීම සිදු විය හැකියි.

ඒ වගේම දේශගුණික විපර්යාස තුලිනුත් කෘෂිකර්මයට බලපෑම් ඇතිවනවා. දේශගුණය හා පාරිසරික තත්ව පුරෝකථනය අපහසු වන විට කෘෂිකර්මය අභියෝගයට ලක්වෙනවා.එවන් පසුබිමක රටේ ආර්ථිකය කෙරෙහි කෘෂි ව්‍යවසායක ඔබගේ කාර්යභාරය හුදු මුදල් ඉපයීමක් නොවන අතරම රටේ ආහාර සුරක්ෂිතතාව ඔස්සේ රටේ ජාතික ආරක්ෂාවටද කරන මැදිහත් වීමක්. ඔබේ දක්ෂතා ප්‍රදර්ශනය හුදෙක් ඔබට පමණක් නොව රටේ ජනතාවට ද ඉතා වැදගත්. IFAD,SAPP වැනි ආයතන ලබා දුන්  මෙම දායකත්වය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා..."