අද රාත්‍රි 11 පමණ වනතුරු ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
April 27, 2026 04:34 pm
ප්‍රදේශ කිහිපයක් සඳහා අද රාත්‍රි 11 පමණ වනතුරු ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පස්වරු 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට පස්වරු 1.න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (27) සවස 4.00ට නිකුත්කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.
දකුණු පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
