කෝටි 20ක් වටිනා මත්පෙති සිව් දෙනෙක් අත්අඩංගුවට

කෝටි 20ක් වටිනා මත්පෙති සිව් දෙනෙක් අත්අඩංගුවට

April 25, 2026   04:43 pm

රුපියල් කෝටි 20කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු පිටකොටුවේ ස්ථාන හතරකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 සහ 42 අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින් බව සඳහන්ය.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ, ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ හතරක මුදලක් ද සිය භාරයට ගත් බවය.

එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී මත් පෙති දෙලක්ෂ හාරදහසක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඕල්කට් මාවත පාමසියක් අසලදී මත්කරල් 6000ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුට එම මත්පෙති ලබා දුන් බව කියන තවත් පුද්ගලයෙකු මැලිබන් විදියේදී තවත් මත්පෙති 6000ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයන් වෙත මත්පෙති සැපයූ තවත් පුද්ගලයෙකු වන වත්තල මා බෝල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පළමුවන හරස් වීදියේදී මත් පෙති එක් ලක්ෂ අසූ දහසක් පමණ හා එම ජාවාරමින් උපයා ගත් බව කියන ලක්ෂ හතරක මුදල් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු තවත් පුද්ගලයෙකුට ලබා දී තිබූ මත්පෙති 12,000ක් සමග පිටකොටුව මහා වීදියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරු ද වත්තල මා බෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බව සඳහන්ය. 

මේ සම්බන්ධයෙන් මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.