කරන්දෙණිය රාජුගේ ගෙවත්තේ වළ දමා තිබියදී රුසියාවේ නිෂ්පාදිත ගිනිඅවියක් සොයා ගනී
April 25, 2026 10:33 am
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන කරන්දෙණිය රාජු නමැත්තාගේ මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (25) උදෑසන සිදුකළ සෝදිසියක දී රුසියාවේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, මැගසින් එකක් සහ ජීව උණ්ඩ 15ක් මෙලෙස සොයාගෙන ඇති බව සඳහන් වේ.
කරන්දෙණිය රාජු නොහොත් එස්.එෆ්. රාජු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගියදා දිවයිනට රැගෙන එනු ලැබීය.
මේ වන විට රැඳවුම් භාරයේ පසුවන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව අද උදෑසන කරන්දෙනියේ පිහිටි ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂා කිරීමේදී ගෙවත්තේ වළලා තිබූ මෙම ගිනිඅවිය සහ උණ්ඩ සොයාගත් බව පොලීසිය පැවසීය.
මේ ගිනිඅවිය කරන්දෙණිය රාජු විසින් මෙහෙයවනු ලැබු ඝාතනවලට භාවිත කරන්නට ඇති බවට ද පොලිසිය සැක පළ කරයි.
මොහු විසින් ඝාතන 15ක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණය වී ඇති බව ද සඳහන්.
