තමාට එරෙහිව විශ්වාසභංගයක් එනතුරු බලා සිටින අගමැතිනිය

තමාට එරෙහිව විශ්වාසභංගයක් එනතුරු බලා සිටින අගමැතිනිය

April 24, 2026   12:05 pm

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අද (24) පෙරවරුවේ මහනුවර වල්වතු මහා විහාර පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ මේ සම්බන්ධව විමර්ශන සිදුකරන බවත් මිට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ සඳහා ජාත්‍යන්තර සහායද මෙරටට ලැබී ඇති බවත් ඇය සඳහන් කළාය.

රජයක් ලෙස මෙම සිදුවීම සම්බන්ධව සිදු කළ යුතු සියලු කාර්යන් සිදු කිරීමට පියවර ගන්නා බවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

මේ අතර අග්‍රාමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන බවට සඳහන් වන විශ්වාසභංගය සම්බන්ධවද ඇය අදහස් දැක්වූවාය.

"මට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න නේ හදන්නේ. මම බලන් ඉන්නවා ඒක එනකන් පාර්ලිමේන්තුවට. මොකද හේතුව මට එතකොට මට අවස්ථාව හම්බෙනවානේ ඒවාට උත්තර දෙන්න. ඉතිං කියනවානේ.. විවිධ කතා කියනවා මම නම් යෝජනා කරන්නේ ජනතාව හරියට තේරුම් ගන්නත් ඕනේ අපිට විපක්ෂයක් ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂයක් තියෙන එක අත්‍යවශ්‍ය දෙයක්. ආණ්ඩුව වැරදි දේවල් පෙන්නුම් කරන එක හෝ වෙනත් දේශපාලන මතයක් නියෝජනය කරන එකත් වැදගත්. ඒකද මේ විපක්ෂය කරන්නේ කියන එක අපිට හිතන්න වෙනවා ජනතාවත් හිතන්න වෙනවා."