බාල ගල්අඟුරු සිද්ධිය සහ ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන සම්පුර්ණ කතාව
April 17, 2026 07:06 pm
ශ්‍රී ලංකාව තුළ ගල්අඟුරු ආශ්රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ගල්අඟුරු ආනයනයේදී හා විදුලිය නිපදවීමේදී නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (17) දහවල් නිවේදනය කළේය.
මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසුව 2025/26 වාරය සඳහා ගල්අඟුරු ආනයන ටෙන්ඩරය එතෙක් සැපයූ සමාගමෙන් ඉවත්කර නව සමාගමකට ප්රදානය කර තිබුණි.
එහෙත් ආණ්ඩුව ටෙන්ඩර් රෙගුලාසි හා පිරිවිතර වෙනස් කර එම සමාගමට ටෙන්ඩරය දී ඇති බවත්, ඉන් ගෙන්වූ ගල්අඟුරු ප්‍රමිතියෙන් බාල බවට පරීක්ෂණ වාර්තාවලින් හෙළිවී ඇති බවත් විපක්ෂය ඉකුත් ජනවාරි මාසයේදී මුල්වරට කරුණු අනාවරණ කළේය.
ඉන් පසුව පෙර පැවති ලංකා විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ නිල වාර්තාවේ සඳහන් වූයේ ආනයනික නැව් 9ක ගල්අඟුරු භාවිතයෙන් වන තක්සේරුගත සෘජු අලාභය රුපියල් මිලියන 8,497ක් බවය.
මේ පිළිබඳ චෝදනාව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙත එල්ල වුණි.
එවන් පසුබිමක පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මීට අදාළව විගණකාධිපතිවරයාගෙන් ඉල්ලූ වාර්තාව අප්‍රෙල් 07 වෙනිදා නිකුත් කෙරුණි.
ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් වීම, ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබීම ඇතුළු මතභේදාත්මක අනාවරණ රැසක් එකී විගණන වාර්තාවෙන් හෙළි කර තිබුණි.
මේ හේතුවෙන් විපක්ෂය රජයට බල කළේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාව ධුරයෙන් ඉවත් කර විමර්ශනයක් කරන ලෙසය.
නමුත් ඔහුට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජ කිරීමට ආණ්ඩු පක්ෂය පියවර ගත්තේය.
ඉන් පසු රජය නිවේදනය කළේ 2009 වසරේ සිටම සිදුකළ ගල්අඟුරු ආනයනයන් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් සිදුකරන බවය.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ගල් අඟුරු ආනයනයේදී හා විදුලිය නිපදවීමේදී නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද දහවල් නිවේදනය කළේය.
කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාත්, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා ද පත්කර තිබේ.
එම නිවේදනයෙන් සුළු වේලාවකට පසුව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරුන් අද සිය ධුරවලින් ඉල්ලා අස්වූ බවයි.
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් අමාත්‍යවරයා සහ ලේකම්වරයා මෙලෙස ධුරවලින් ඉල්ලා අස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
