චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ ගින්නක්

චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ ගින්නක්

April 14, 2026   10:06 pm

ලොව ප්‍රකට විද්‍යුත් වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ රථගාලේ අද (14) ගින්නක් හටගෙන තිබේ.

ගින්න හේතුවෙන් BYD සමාගමේ කොටස් මිලද 0.6%කින් පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

චීනයේ ෂෙන්සෙන් නුවර පිහිටි BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලවට අයත් රථගාලක මෙම ගින්න හටගෙන තිබුණි.

පරීක්ෂණ මට්ටමේ පවතින වාහන සහ ඉවතලන වාහන මෙම රථගාලේ ගාල් කර තිබී ඇති බව විදෙස් වාර්තා සඳහන් වෙයි.

ගින්න මහල් ගොඩනැගිල්ලක් පුරා පැතිර ගොස් තිබූ අතර ඒ හේතුවෙන් අවට ප්‍රදේශය විශාල කළු දුමාරයකින් වැසිගොස් ඇත.

ගින්න හටගැනීමත් සමඟ ප්‍රදේශයේ ගිනි නිවිමේ නිලධාරීන් සහ පොලීසිය කඩිනමින් එම ස්ථානයට කැඳවා ඇත.

මේ අතර විද්‍යුත් වාහන අතර ගින්න පැතිරීමේ වේගය වැඩි බැවින් එය නිවාදැමීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව වාර්තා වෙයි.

පැය කිහිපයකදී බලධාරින් විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් වාර්තා නොවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.