ඉරාන - අමෙරිකා සාම සාකච්ඡාවේ නවතම තොරතුරු
April 12, 2026 07:22 am
Update - 11.30 AM
ඉරාන දූත පිරිස මේ වන විට ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව ගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ්-බගර් ගලිබාෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිස එරට වේලාවෙන් පෙරවරු 9:00ට පමණ මෙලෙස පිටත්ව ගොස් තිබේ.
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු අමෙරිකානු දූත පිරිස සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු පිටත්ව යාමෙන් අනතුරුව, ඉරාන පාර්ශවයද මෙලෙස පිටත්ව ගොස් ඇත.
---------------------
Update - 10.30 AM
දෙපාර්ශවයම සටන් විරාමය සඳහා වන ඔවුන්ගේ කැපවීම අඛණ්ඩව රැකගැනීම අත්‍යාවශ්‍ය වන බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
සාම සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය.
"මුළු කලාපයටම සහ ඉන් ඔබ්බට තිරසාර සාමය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා දෙපාර්ශවයම ධනාත්මක හැඟීමකින් යුතුව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු," යනුවෙන් X සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
--------------------------------------
Update - 09.30 AM
සාම සාකච්ඡා අසාර්ථක වීමට හේතු ලෙස අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකිනෙකට පරස්පර වූ කරුණු ඉදිරිපත් කරමින් සිටන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුද්ධය අවසන් කිරීම සඳහා වූ සාකච්ඡා අඩාල වී ඇත්තේ අමෙරිකාව ඉදිරිපත් කළ අසාධාරණ ඉල්ලීම් හේතුවෙන් බව ඉරානය පවසයි.
ඉරාන නියෝජිත පිරිස විවිධ යෝජනා ඉදිරිපත් කළද, අමෙරිකානු පාර්ශවයේ අසාධාරණ ඉල්ලීම් සාකච්ඡාවල ප්‍රගතියට බාධා කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර, අමෙරිකාව පවසන්නේ තමන් නම්‍යශීලී ලෙස කටයුතු කළ බවය.
එහිදී අදහස් දක්වමින් ජේ.ඩී. වෑන්ස් පැවසුවේ හොඳ හිත පෙරදැරිව මෙහි පැමිණ ගිවිසුමක් ඇති කර ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට පැවසූ බවය.
"අපි එය ඉටු කළා, නමුත් අවාසනාවකට අපට කිසිදු ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වුණා," යැයි ඔහු පැවසීය.
-------------------------
Update - 08.00 AM
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු නියෝජිත පිරිස මීට සුළු මොහොතකට පෙර Air Force 2 යානයෙන් වොෂින්ටනය බලා පිටත්ව ගොස් තිබේ.
----------------------
Update - 07.30 AM
ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා තිබේ.
පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත් ය.
ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බව සඳහන් කළ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
--------------------------
Update - 07.00 AM
ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Esmaeil Baqaei විසින් සාම සාකච්ඡාවල වර්තමාන තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු විස්තර කරන්නේ මෙම සාකච්ඡා ඉතා තීව්‍ර වූ බවය.
කෙසේ වෙතත්, දැනට පවතින සාකච්ඡාවල සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ බැරෑරුම්කම සහ අවංකභාවය මත වන බවද එහි සඳහන්.
