යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව අමෙරිකාව කියයි

යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව අමෙරිකාව කියයි

April 11, 2026   09:43 pm

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එක්සත් ජනපදය විසින් එම මාර්ගයේ ඇති බාධක ඉවත් කරමින් සිටින බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු නාවික හමුදාව විසින් සමුද්‍ර සන්ධිය හරහා ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බවට විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. 

මෙම මෙහෙයුම සඳහා ටෙහෙරානයේ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කර නොමැති බව එක්සත් ජනපදයේ ඇක්සියෝස් පුවත් සේවය සඳහන් කරයි.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා කඩිනමින් විවෘත වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබේ.

Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් යළිත් අවධාරණය කර සිටියේ, එක්සත් ජනපදය විසන් ඉරානයේ නාවික සහ ගුවන් හමුදා බලය විනාශ කර ඇති බවය.

අමෙරිකානු තෙල් ලොව ඇති හොඳම තෙල් වන අතර ඒවා ලබා ගැනීමට හිස් තෙල් නැව් සිට රටට පැමිණෙන බව ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් සඳහන් කරයි. 

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට සහතික වීමෙන් පසු ඉරානයට බෝම්බ හෙළීම නැවැත්වූ බව අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.