මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
April 7, 2026 05:38 am
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (07) දින 39ක් ගත්වී තිබේ.
---------------------------
Update - 11.37PM
කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සිය පුරවැසියන් සහ එරට වෙසෙන පදිංචිකරුවන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, අත්‍යවශ්‍ය කාරණයක් සඳහා මිස නිවෙස්වලින් පිටතට නොයන ලෙසත්, නිවෙස්වලම රැඳී සිටින ලෙසත් බලධාරීන් උපදෙස් ලබා දී ඇත.
----------------------
Update - 9.15PM
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ ආරක්ෂක පියවරයන් දිරිමත් කරමින් ඉදිරිපත් කළ යෝජනාවලිය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පරාජයට පත්ව තිබේ.
ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී රුසියාව සහ චීනය සිය නිෂේධ බලය භාවිතා කරමින් ඊට විරුද්ධ වීම හේතුවෙනි.
බහරේනයේ විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලතීෆ් බින් රෂීඩ් අල් සයානිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තීරණාත්මක රැස්වීමේදී, රටවල් 11ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුනි.
පාකිස්තානය සහ කොලොම්බියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සති ගණනාවක සාකච්ඡාවලින් පසු, මුලින් හමුදා බලය භාවිතා කිරීමට අවසර ලබා දුන් (VII වන පරිච්ඡේදය) දැඩි කොන්දේසි සහිත යෝජනාවලිය, ක්‍රමයෙන් ලිහිල් කර අවසානයේ "ආරක්ෂක පියවරයන් දිරිමත් කරන" මට්ටමට වෙනස් කර තිබුණි.
----------------------
Update - 8.30PM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන ලද තර්ජනවලට ප්‍රතිචාර දක්වමින්, ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක බාගෙයි (Baghaei) විසින් දැඩි සහ අභියෝගාත්මක පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඔහු 'X' සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් අවධාරණය කළේ, තමන් විශ්වාස කරන දහම සහ සංස්කෘතික ශක්තිය, අමෙරිකාව විසින් යොදාගන්නා "ම්ලේච්ඡ බලයට" වඩා ප්‍රබල බවය.
----------------------
Update - 7.45PM
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ වන විට රැස්වී තිබේ.
----------------------
Update - 7.00PM
ඉරානයේ දුම්රිය මාර්ග සහ පාලම්වලට ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි
ඔහු 'X' සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
----------------------
Update - 6.01PM
ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතට (Kharg Island) ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------------
Update - 5.45PM
"අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක්ම විනාශ වී යනු ඇත, එය නැවත කිසිදා ගොඩනැගිය නොහැකි වනු ඇත" යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
--------------------------
Update - 5.22PM
අමෙරිකාව හෝ ඔවුන්ගේ මිත්‍ර රටවල් ඉරානයට පහර දුන්නොත්, එම රටවලට සහ ඔවුන්ගේ සගයන්ට වසර ගණනාවක් යනතුරු මැදපෙරදිග කලාපයේ තෙල් සහ ගෑස් ලබාගැනීමට නොහැකි වන පරිදි යටිතල පහසුකම් විනාශ කරන බවට ඉරානය තර්ජනය කරයි.
-------------------------
Update - 5.10PM
ඉරානයේ සිට එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවකින් ඊශ්‍රායලයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි පෙටා ටික්වා නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------------
Update - 3.30PM
ඉරානයේ කිෂ් දූපතට දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් කාර්යාලය වාර්තා කර තිබේ.
---------------------
Update - 2.05PM
බහරේනයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනතුරු ඇඟවීමේ සයිරන් නාද කර තිබේ.
කලබල නොවී, හැකි ඉක්මනින් තමන්ට ආසන්නතම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස එරට රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
--------------------------
Update - 1.40PM
ඉරානයේ ෂිරාස් (Shiraz) නගරයේ පිහිටි පෙට්‍රොකෙමිකල් කර්මාන්තශාලාවකට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම කර්මාන්තශාලාව බැලස්ටික් මිසයිල නිෂ්පාදනයට අවශ්‍ය නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරන ස්ථානයක් බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.
-----------------------
Update - 1.04PM
සවුදි අරාබිය සහ බහරේනය සම්බන්ධ කරන 'කිංග් ෆාඩ්' පාලමේ වාහන ගමනාගමනය නැවත ආරම්භ කර ඇති බව බලධාරීන් තහවුරු කර ඇත.
----------------------
Update - 11.14AM
දකුණු ලෙබනනයේ ස්ථාන දෙකකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.
--------------------------
Update - 11.10AM
සවුදි අරාබිය සහ බහරේනය යා කරන 'කිංග් ෆාඩ් කොස්වේ' (King Fahd Causeway) පාලම දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරානය විසින් සවුදි අරාබියේ නැගෙනහිර පළාත ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර සැලකිල්ලට ගෙන, ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති සඳහන් වෙයි.
---------------------
Update - 10.41AM
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලය, ලෙබනනය සහ ගල්ෆ් කලාපයේ රටවල රැකියා සඳහා යාමට සූදානමින් සිටි පිලිපීන ජාතිකයින් 40,000කට අධික පිරිසකට සිය ගමන් අත්හිටුවීමට සිදුව ඇති බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.
-----------------------
Update - 10.30AM
ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් නව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවට ඊශ්‍රායල හමුදාව තහවුරු කළ බව විදෙස් වාර්තා පවසයි.
-----------------------
Update - 10.20AM
හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී තිබූ මැලේසියාවට අයත් වෙළඳ නෞකා හතෙන් එක් නෞකාවකට ආරක්ෂිතව ගමන් කිරීමට ඉරාන බලධාරීන් අවසර ලබා දී ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
--------------------
Update - 09.30AM
ඉරානයේ යටිතල පහසුකම්වලට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී එල්ල කළ තර්ජන පලක් නොවන ඒවා බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි.
"වැඩිදුරටත් හමුදා ක්‍රියාමාර්ග අවශ්‍ය නොවන නිසා ඒවා පලක් නැහැ...මම හිතන්නේ මෙහි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත නොවනු දැකීම කෙරෙහි අවධානය යොමු කිරීමයි... පාලම්, ජලාශ සහ සිවිල් යටිතල පහසුකම්වලට බෝම්බ හෙලීම ඇතුළු එම ඕනෑම ක්‍රියාවක් කිසිසේත්ම පිළිගත නොහැකියි," ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
--------------------
Update - 09.10AM
මැදපෙරදිග යුද්ධය තවදුරටත් උත්සන්න විය හැකි බවට පවතින ලකුණු හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාවට ආසන්න වීමත් සමඟ ලෝක කොටස් වෙළඳපොළ අස්ථාවර වී තිබේ.
හොමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කරන ලෙස ඉරානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදුන් කාලසීමාව අවසන් වෙමින් පවතින බැවින් ආයෝජකයින් සහ වෙළෙඳුන් දැඩි නොසන්සුන්තාවයකින් පසුවන බවද සඳහන්.
එම කාලසීමාව තුළ ඉරානය ක්‍රියා නොකළහොත් විදුලි බලාගාර, පාලම් ඇතුළු එරට ප්‍රධාන යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට ද ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
----------------------
Update - 08.50AM
තම හමුදාවන් ඉරාන ඉලක්ක 13,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකාව පවසයි.
-----------------------
Update - 08.00AM
ටෙහෙරානයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි යුදෙව් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී ඇත.
---------------------------
Update - 07.10AM
ලෙබනනයේ දශලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ලෙබනනයේ අවතැන් වූවන් ලෙස ලියාපදිංචි වී ඇති පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සංඛ්‍යාව මේ වන විට දශලක්ෂය ඉක්මවා ගොස් ඇති බවය.
මෙය එරට සමස්ත ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් වන බවද සඳහන්.
එම පිරිසෙන් 137,000ක් පමණ සහන කඳවුරුවල ජීවත් වන බවත් වාර්තා වේ.
--------------------------
Update - 06.30AM
ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවය.
ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.
