වැස්ස ගැන කාලගුණයෙන් කළ අලුත්ම පුරෝකථනය
April 6, 2026 12:43 pm
මැයි මාසය හෝ ජුනි මාසය වනවිට සුපුරුදු වර්ෂාපතනය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
අද දෙරණ BIG FOCUS වැඩසටහනට අද (06) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා,
''නිරිත දිග මෝසමේ දී දැනට තියෙනවාට වඩා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන්න පුලුවන්... ඒ කියන්නේ 30%ට වඩා අඩුවෙන්න පුලුවන්.. හැබැයි මැයි කියන්නේ එල්ලිනෝ එකේ ආරම්භයක් පමණයි.. මැයි මාසේ සහ ජූනි මාසය වෙනකොට සුපුරුදු වර්ෂාව එයි කියන විශ්වාසය තියෙනවා''
මේ අතර අප්‍රෙල් 15වැනිදා දක්වා සූර්යා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව අද දහවල් 12:13ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව සඳහන්.
මෙවන් පසුබිමක පළාත් කිහිපයක ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවුවද, පවතින අධික වියළි කාලගුණ තත්ත්වය එලෙසම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මේ අතර පවතින වියළි කාලගුණයේ බලපෑමෙන් ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජලාශවලින් ජලය සැපයෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ද කාලසටහනකට අනුව සිදුකිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගනු ලැබීය.
ඒ අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල කලාප අංක 01 සඳහා අද(06) රාත්‍රී 08 සිට හෙට (07) උදෑසන 08 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වනවිට ක්‍රියාත්මකවන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වූ බවය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ජල හිඟය කළමනාකරණය කිරීමට සහායක් වශයෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් මඩකලපුව මහනගර සභාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව ජල බවුසර් රථයක් පරිත්‍යාග කර තිබේ.
