මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
April 6, 2026 05:55 am
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (06) දින 38ක් ගත්වී තිබේ.
-----------------------
Update - 4.15PM
හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය අවදානම මගහැර, ආරක්ෂිතව තෙල් ලබා ගැනීම සඳහා දකුණු කොරියාව සිය නැව් සෞදි අරාබියේ රතු මුහුදේ පිහිටි වරායක් වෙත යැවීමට තීරණය කර ඇත.
-------------------------
Update - 4.14PM
දකුණු ලෙබනනයේදී ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් වෛද්‍ය කණ්ඩායමකට අයත් සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
----------------------
Update - 2.53PM
ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකාව සිදුකරනු ලබන තර්ජන "යුද අපරාධ" ලෙස ඉරානය හඳුන්වා දී ඇති අතර, අමෙරිකාවට සහය දෙන රටවලට ද ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
-----------------------
Update - 2.47PM
ඉරානයේ ටෙහෙරාන් නගරයට එල්ල වූ අමෙරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ටෙහෙරාන් අගනුවර පිහිටි බහරෙස්තාන් (Baharestan) දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමිනි.
මේ අතර ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණ හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 40කට වැඩි ප්‍රමාණයකට සහ ප්‍රදේශයේ නවතා තිබූ වාහන රැසකට දැඩි හානි සිදුවී ඇති බව සඳහන් වෙයි.
----------------------
Update - 2.30PM
කුවේටයේ බුබියන් දූපතේ තිබූ අමෙරිකානු චන්ද්‍රිකා උපකරණ සහ යුද උපකරණ ගබඩා ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
-----------------------
Update - 2.10PM
පකිස්තාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක තාහීර් අන්ද්‍රාබි (Tahir Andrabi) පවසා ඇත්තේ දින 45ක සටන් විරාමයක් හෝ කරුණු 15කින් යුත් එකඟතාවක් පිළිබඳව පළවන වාර්තා තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තමන්ට නොහැකි බවයි.
----------------------
Update - 1.40PM
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මජිඩ් ඛඩේමි (Majid Khademi) මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
------------------------
Update - 1.37PM
ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ බේරූට් නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
--------------------------
Update - 1.03PM
අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ටෙහෙරාන් අගනුවර පිහිටි රෝහල් 8ක් සම්පූර්ණයෙන්ම හිස් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් වෙයි.
ප්‍රහාරවලින් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 54ක්, වෛද්‍ය ඒකක 46ක් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 216ක් හානියට පත්ව තිබේ.
රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ 41ක් ද මෙම ප්‍රහාරවලින් විනාශ වී ඇත.
-------------------------
Update - 11.20AM
ඊශ්‍රායල හමුදා විසින් සිදුකළ වැටලීම්වලදී පලස්තීන 17 හැවිරිදි පිරිමි ළමයෙකුට වෙඩි තබා ඇති අතර ළමුන් තිදෙනෙකු රඳවාගෙන සිටින බව වාර්තා වේ.
තුවාල ලැබූ එම දරුවා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
-----------------
Update - 11.05AM
ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායල හමුදාව විසින් සාර්ථකව ව්‍යර්ථ කර තිබේ.
-------------------
Update - 10.50AM
දකුණු ලෙබනනයේ Kfar Rumman නගරයට ඊශ්‍රායලය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
-----------------
Update - 10.15AM
ඉරානයේ හිටපු විදේශ අමාත්‍ය ජවාඩ් සරීෆ්, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප් ලබාදුන් අවසන් නිවේදනය දැඩි ලෙස හෙළා දැක තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, "ඉරානය තමන්ව ආරක්ෂා කරගනු ඇත. නමුත් ඔබේම යහපත සඳහා මෙම අනතුරු ඇඟවීමට සවන් දෙන්න: මෙම ආක්‍රමණය ආරම්භ වූයේ පාසල් ළමුන් 170 දෙනෙකු ඉලක්ක කර ඝාතනය කිරීමේ යුද අපරාධයෙනි'' යනුවෙනි.
---------------------
Update - 09.40AM
ටෙහෙරාන් පළාතේ Baharestan ප්‍රාන්තයේ නේවාසික ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයෙන් වයස අවුරුදු 10ට අඩු ගැහැණු ළමයින් සිව් දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
--------------------
Update - 08.40AM
ලෝක අවධානය ඉරානය සමඟ පවතින යුද්ධය වෙත යොමුව තිබියදී ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිය සමූලඝාතන ප්‍රහාර අඛණ්ඩව සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගාසා නගරයේ යර්මුක් ක්‍රීඩාංගනය අසල සිටි සිවිල් වැසියන් පිරිසකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.
එසේම, Khan Younis නගරයට දකුණින් පිහිටි Lemon Tree ප්‍රදේශය අසලදී විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකුට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ඝාතනය කර තිබේ.
ගාසා සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඇති කරගත් සටන් විරාමය යැයි කියනු ලබන කාලසීමාවේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 716 දක්වා ඉහළ ගොස් ඇත.
------------------------
Update - 08.00AM
අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ Baharestan දිස්ත්‍රික්කයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 13දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
-----------------------
Update - 07.25AM
ජපානයේ සහ දකුණු කොරියාවේ කොටස් වෙළඳපොළවල් ඉහළ අගයකින් ආරම්භ වී තිබේ.
ජපානයේ ප්‍රධාන Nikkei 225 දර්ශකය 0.45% කින් ඉහළ ගොස් ඇති අතර, දකුණු කොරියාවේ KOSPI දර්ශකය 1.8% කින් පමණ ඉහළ ගොස් ඇත.
ඊට ප්‍රතිවිරුද්ධව, චීනයේ ප්‍රධාන දර්ශක පහත වැටී තිබේ.
-------------------
Update - 07.10AM
ඉරානයේ යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එලෙසම ප්‍රතිචාර දක්වන බවට ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් අර සිටී.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව සඳහන් කළේය.
"ඉරානයේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල වුවහොත්, අපිත් එලෙසම ප්‍රතිචාර දක්වන බව අපගේ සන්නද්ධ හමුදාවන් පැහැදිලිවම පවසා තිබෙනවා," යැයි ද එහි සඳහන්.
-----------------------
Update - 06.55AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ විශ්වවිද්‍යාල, පාසල් සහ පර්යේෂණ මධ්‍යස්ථාන රැසකට හානි සිදුව ඇති බව ඉරානය පවසයි.
පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා රට පුරා සිවිල් ස්ථාන 100,000කට වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති බව ද සඳහන්.
----------------------
Update - 06.20AM
ඉරානයේ Qom නගරයේ ගොඩනැගිල්ලකට එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
----------------------
Update - 5.50AM
දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම බේරූට් නුවර ජ්නා ප්‍රදේශයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.
ලෙබනනයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වන ක්‍රිස්තියානි බැතිමතුන් පාස්කු ඉරිදා සමරද්දී, පසුගිය මාසයේ ආරම්භ වූ සටන්වලින් පසු එරට අත්විඳි දරුණුතම සහ ප්‍රචණ්ඩකාරී දිනයක් ලෙස මෙය සටහන් වී ඇත.
