මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
April 2, 2026 05:40 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (02) දින 34ක් ගතවී ඇත.
.......................................
UPDATE - 10.10 PM
ලෝකයේ අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා රටවල් 40කට අධික සංඛ්‍යාවක් එකමුතු වී ඇති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) මහත්මිය ප්‍රකාශ කර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, හොර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා “හැකි සෑම රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සම්බන්ධීකරණ පියවරක්ම” ගැනීමට රටවල් දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන බවය.
ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට සහ බලශක්ති මිල ගණන්වලට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවද ඇය අවධාරණය කළාය.
-----------------------
UPDATE - 9.15 PM
ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) තහවුරු කර ඇත.
මෙම ප්‍රහාරවල ශබ්ද ජෙරුසලම නගරය තුළද ඇසුණු බව ඉරාන සහ ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබේ.
-----------------------
UPDATE - 8.50 PM
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර අතර තම ගුවන් සීමාවට ඇතුළු වූ සියලුම ඩ්‍රෝන යානා සාර්ථකව විනාශ කළ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි
එමෙන්ම කුවේට් ආරක්ෂක අංශ සඳහන් කරන්නේ, පසුගිය පැය 24 තුළ තමන් දෙසට එල්ල වූ මිසයිල 2ක් සහ ඩ්‍රෝන යානා 13ක් බිම හෙළීමට හැකි වූ බවය.
-----------------------
UPDATE - 8.25 PM
වහාම යුද්ධය නතර කර සියලු පාර්ශවයන් ගැටුම්වලින් ඉවත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අවධාරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මහලේකම්වරයා නිව් යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ, ලෝකය මේ වන විට මුළු මැද පෙරදිගම ආවරණය කරන විශාල පරිමාණ යුද්ධයක අද්දරට පැමිණ ඇති බවයි.
එම තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවත්, සියලු පාර්ශවයන් වහාම ආරක්ෂිත හා සාමකාමී විසඳුමකට පැමිණිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
-----------------------
UPDATE - 7.15 PM
ඉරානය අගනුවර ටෙහෙරානය සහ බටහිර දෙසින් පිහිටි කරජ් නගරය යා කරන මහාමාර්ග පාලම ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල්බෝර්ස් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති බවය.
-----------------------
UPDATE - 6.30 PM
දකුණු ලෙබනනයේ පිහිටි සුල්තානියා (Sultaniyeh), අයිතා අල්-ජබල් (Aita al-Jabal), අල්-ජුමය්ජිමා (al-Jumayjimah) සහ තිබ්නින් (Tibnin) යන නගර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින කලාපීය උණුසුම් තත්ත්වය මධ්‍යයේ දකුණු ලෙබනනයේ සිවිල් ජනාවාස ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරවලින් සිදු වූ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් ලැබෙමින් පවතික බව වාර්තා වෙයි.
මෙම ප්‍රහාරය කලාපයේ පවතින ගැටුම් තවදුරටත් උග්‍ර කිරීමට හේතුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.
-----------------------
UPDATE - 5.45 PM
ඉරානය අගනුවර ටෙහෙරානය සහ කරජ් නගරය සම්බන්ධ කරන “මැද පෙරදිග උසම පාලම” ලෙස හැඳින්වෙන B1 පාලම ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පාලම ටෙහෙරානය සහ කරජ් අතර ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක කොටසක් වන අතර, එය මේ වසරේ මුල් භාගයේදී විවෘත කර තිබේ.
එමෙන්ම, ටෙහෙරානයට බටහිර දෙසින් පිහිටි කරජ් නගරයේ තවත් ප්‍රදේශ කිහිපයක්ද ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
-----------------------
UPDATE - 5.00 PM
කටාර් රජය විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත තවත් ලිපියක් යොමු කරමින් ඉරානය විසින් තම භූමියට එල්ල කර ඇති ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක තිබේ.
කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් සඳහන් කරන්නේ, මාර්තු 28 සිට අප්‍රේල් 1 දක්වා කාලය තුළ ඉරානය විසින් ඩ්‍රෝන සහ කෘස් මිසයිල ප්‍රහාර කිහිපයක් කටාර් භූමිය ඉලක්ක කර එල්ල කර ඇති බවය.
ඒ අතරින් කටාර් ජල සීමාව තුළ පවතින තෙල් ටැංකර් නෞකාවක් ඉලක්ක කර පහරදුන් සිද්ධියක්ද ඇතුළත් වන බව එම ලිපියේ සඳහන් වේ.
මෙම ප්‍රහාර ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා, ඒවාට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය යුතු බව කටාර් පාර්ශවය අවධාරණය කර ඇත.
-----------------------
UPDATE - 4.15 PM
ඉරාන වසර සියයකට වඩා පැරණි කීර්තිමත් වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක් වන පාස්චර් ආයතනය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය පුරා රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ වෛද්‍ය සේවා පහසුකම් අවම වශයෙන් 316ක් පමණ විනාශ වී හෝ හානියට පත්ව ඇති බව ඉරාන රතු අඩ සඳ සංවිධානය (Iranian Red Crescent) තහවුරු කරයි.
-----------------------
UPDATE - 3.36 PM
පසුගිය පැය 24 තුළ හිස්බුල්ලා සටන්කාමීන් 40 දෙනෙකු මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.
-----------------------
UPDATE - 3.31 PM
ඉරාකයේ ක්‍රියාත්මකවන ප්‍රබල සන්නද්ධ කණ්ඩායමක මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
--------------------------
UPDATE - 3.00 PM
මැද පෙරදිග කලාපයේ සේවය කරන පිලිපීන නාවිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය සමඟ ධනාත්මක එකඟතාවකට පැමිණි බව පිලිපීන විදේශ ඇමති පවසා තිබේ.
-------------------------
UPDATE - 2.35 PM
හිස්බුල්ලා සංවිධානයේ දකුණු පෙරමුණේ ප්‍රධානී හජ් යූසුෆ් ඉස්මයිල් හෂෙම් (Haj Youssef Ismail Hashem) ගමන් ගත් රථයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් වෙයි.
-----------------------------
UPDATE - 2.05 PM
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කළ හැකි ගොඩබිම් ආක්‍රමණයකට මුහුණ දීම සඳහා සතුරාගේ සෑම ක්‍රියාවක්ම "මොහොතින් මොහොත" පරීක්ෂා කරන ලෙස ඉරාන හමුදාපතිවරයා සිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.
-----------------------
UPDATE - 1.25 PM
ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ පිහිටි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේදී දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළ බවයි.
------------------------
UPDATE - 12.28 PM
ලෙබනනයේ ක්ෆාර් සර් (Kfar Sir) නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව තිබේ.
---------------------------
UPDATE - 11.30 AM
ඉරාකයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඉරානයට හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය තුළ බැග්ඩෑඩ් නුවරට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවයි.
---------------------------
UPDATE - 11.10 AM
ඊශ්‍රායලයේ උවමනාවට අමෙරිකාව තවදුරටත් යුද්ධයේ පැටලී නොසිටිමින්, වහාම එය අවසන් කරන ලෙස, ඉරාන යුද්ධය හේතුවෙන් තම ධුරයෙන් ඉල්ලා අස්වූ අමෙරිකාවේ හිටපු ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු වන ජෝ කෙන්ට් (Joe Kent) ට්‍රම්ප්ට ඉල්ලීම් කර ඇති බව සඳහන් වෙයි.
-------------------------
UPDATE - 10.56 AM
ඉරානය ගල් යුගයට යවන බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය අමෙරිකානු-ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලය දැඩි ලෙස හෙළා දැක ඇත.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය මුස්ලිම් විරෝධී, ජාතිවාදී සහ මනුෂ්‍යත්වයට නිගරු කරන එකක් බව එම සංවිධානය පවසයි.
-----------------------------
UPDATE - 10.15 AM
පසුගිය පැය කිහිපය තුළ තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඩ්‍රෝන යානා හතරක් හඳුනාගෙන ඒවා විනාශ කිරීමට සමත් වූ බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසි තිබේ.
--------------------------
UPDATE - 09.35 AM
ලෙබනනයේ හිස්බුල්ලා කැරලිකරුවන් විසින් ඊශ්‍රායල හමුදා ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------------------
UPDATE - 08.55 AM
ඉරානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසු, කලාපීය නොසන්සුන්තාවය සමනය කරන ලෙස ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඉල්ලීමක් කර තිබේ.
කැන්බරා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් අගමැතිවරයා අවධාරණය කළේ ඉරානයට එරෙහිව අමෙරිකාව අපේක්ෂා කළ මූලික අරමුණු බොහොමයක් මේ වන විටත් සාක්ෂාත් කරගෙන ඇති බැවින් තවදුරටත් සටන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.
-----------------------------
UPDATE - 08.30 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100ක මට්ටමේ පැවතුණ නමුත් කතාව අතරතුර මිල උච්චාවචනය වූ අතර, අවසානයේදී එය 4% කින් පමණ ඉහළ ගොස් මේ වන විට බැරලයක් ඩොලර් 105.38ක් දක්වා ඉහළ ගොස් තිබේ.
---------------------------------
UPDATE - 08.00 AM
ලෙබනනයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටි ඉන්දුනීසියානු භටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකමතිකව හෙළා දැක තිබේ.
සාමාජික රටවල් 15 කින් සමන්විත ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වන්නේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායට අයත් භටයන් ඉලක්ක කර ගනිමින් පසුගිය දින කිහිපය තුළ එල්ල වූ මාරාන්තික පිපිරීම් ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මණ්ඩලය සිය දැඩි කනගාටුව පළ කරන බවය.
--------------------
UPDATE - 07.45 AM
ඉරානය විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශ ඉලක්ක එල්ල කළ මිසයිල ඊශ්‍රායල ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කර ඇති බවත්, එමගින් කිසිදු පුද්ගලයකුට හානියක් සිදුව නොමැති බවත් ඊශ්‍රායලය පවසයි.
මේ අතර, ඉරානයේ 'තස්නිම්' (Tasnim) පුවත් ඒජන්සිය සඳහන් කළේ මෙම නවතම මිසයිල ප්‍රහාර මාලාව ආරම්භ වූයේ "ඉරානයේ මිසයිල හැකියාවන් තමන් විනාශ කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසුව" බවයි.
--------------------
UPDATE - 07.15 AM
විදේශීය ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බව දන්වමින් බහරේනය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද වීමත් සමඟ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජනතාව වෙත හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය මගින්, ජනතාව කලබලයට පත් නොවී සන්සුන්ව කටයුතු කරන ලෙසත්, වහාම තමන්ට ආසන්නතම ආරක්ෂිත ස්ථානය වෙත යන ලෙසත් අමාත්‍යාංශය දැනුම් දෙයි.
--------------------------------
UPDATE - 06.50 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
---------------------------------
UPDATE - 06.30 AM
ඉරානය සමග යුද්ධය ආරම්භ වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ජාතිය ඇමතීම සිදුකරයි.
අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9.00ට අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී ජාතිය ඇමතීමට ආරම්භ කළේය.
----------------------------------
UPDATE - 05.55 AM
ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අද (02) උදෑසන ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ලද සිය පළමු ප්‍රහාර මාලාව පිළිබඳව නිවේදනය කර තිබේ.
ලෙබනන දේශසීමාවේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ දකුණු ලෙබනනයේ අයිනාටා නගරය වෙත ඇතුළු වූ ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි.
