මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 31, 2026   05:28 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (31) දින 32ක් ගතවී ඇත.

-----------------------------

Update -  9.00PM

ඉරානය කණ්ඩායම පාන්දු ලෝකු කුසලාන තරගාවලියට අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත කණ්ඩායම් තරඟ බහුතරයක් සඳහා ඉරාන කණ්ඩායමගේ ගමන් පිළිබඳව පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ මෙම ප්‍රකාශය සිදු වී තිබේ. 

එමෙන්ම, ඉරානය විසින් තම තරග මෙක්සිකෝවට මාරු කිරීම සඳහාද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මේ අතර, හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය තරගාවලියට සහභාගී වීම “සුදුසු නොවන” බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානම් ඇති බවත්ය.

Update -  8.15PM

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදා (IRGC) විසින් මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක වන අමෙරිකානු තාක්ෂණ සමාගම් ඉලක්ක කර ගත හැකි බවට තර්ජනයක් නිකුත් කර ඇත.

ඔවුන් පවසන්නේ, ඇමරිකානු ICT සහ කෘත්‍රිම බුද්ධි (AI) සමාගම් යුධමය ඉලක්ක සැලසුම් කිරීම හා අධීක්ෂණය සඳහා භාවිත වන බවයි. එම නිසා එම සමාගම්වල සේවකයන් සහ ඒ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් විය යුතු බවද IRGC නිවේදනයේ සඳහන් වේ.

Update -  7.00PM

ඉරානය විසින් තුර්කිය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට පළ වන වාර්තා "සම්පූර්ණයෙන්ම පදනම් විරහිත" බව පවසමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි  එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

-----------------------------

Update -  6.30PM

ඉරාන සන්නද්ධ හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු සහ මාණ්ඩලික ප්‍රධානී උපදේශකයෙකු වන ජම්ෂිඩ් එෂාගි ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඉරාන විප්ලවීය බලකාය තහවුරු කර තිබේ.

ඉරාන මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද නිවේදනයකට අනුව, මෙම ප්‍රහාරයෙන් ජෙනරාල් එෂාගි සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. 
---------------------------------

Update - 6.00PM

ඉරානයට සහාය වීම සඳහා චීනය සහ රුසියාව දරන උත්සාහයන් පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම මැදිහත්වීම්වලට එරෙහිව ක්‍රියා කරන බවත් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

අද (31) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙග්සෙත් මහතා සඳහන් කළේ මැදපෙරදිග ගැටුමේ ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක වනු ඇති බවය.

------------------------------

Update - 5.45PM

ඉරානය සමඟ පවතින මෙම යුද්ධයේ ඉදිරි දින කිහිපය ඉතාමත් තීරණාත්මක වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.

-------------------------------

Update - 5.30PM

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පිහිටි 'හොසෙයිනියා' නම් පල්ලියක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ඉරාන Red Crescent සංවිධානය සහ සහන සේවා කණ්ඩායම් මේ වන විටත් කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කරමින් සිටියි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පල්ලිය තුළ සිටි පුද්ගලයන් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරෙන බැවින්, ඔවුන් පණපිටින් බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගනිමින් පවතින බව සඳහන් වෙයි.

----------------------------

Update - 5.20PM

අද (31) තුළ ඉරානයේ සිට එල්ල වූ බැලස්ටික් මිසයිල 8ක්, කෲස් මිසයිල 4ක් සහ ඩ්‍රෝන යානා 36ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව විසින් සාර්ථකව විනාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

-----------------------------

Update - 5.07PM

මැදපෙරදිග පවතින ගැටුම් සමනය කිරීම සඳහා කටාර් රාජ්‍යය සෘජුවම මැදිහත් නොවන බව එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
-------------------------------

Update - 3.30PM
උතුරු ඉරානයේ මෝසුල් නගරය ආසන්නයේ පිහිටි ආරක්ෂක මුරපොළකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් අසල පිහිටි වෙළඳසැල් කිහිපයකට හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

---------------------------------

Update - 3.17PM

ඉරානයේ ඉස්ෆහන් (Isfahan) පළාතේ පිහිටි හමුදා මධ්‍යස්ථාන කිහිපයකට ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.

---------------------------

Update - 3.04PM

ඉරානයේ පිළිකා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ සහ තවත් විශේෂිත ඖෂධ වර්ග නිෂ්පාදනය කරන රටේ විශාලතම ඖෂධ සමාගමක් වන 'තවුෆික් දාරු' (Tawfiq Darou) පර්යේෂණ ආයතනයකට ප්‍රහාරයක් එල්ල කර ඇත.
------------------------------

Update - 2.14PM

ඉරානය තුළ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම විසන්ධි කර අදට දින 32ක් ගත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

නමුත් රජයේ නිලධාරීන්, රජයට පක්ෂපාතී පිරිස් සහ සමහර මාධ්‍යවේදීන්ට පමණක් බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට අවස්ථාව ලැබී ඇත. 

-----------------------------

Update - 1.05PM
ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් නැගෙනහිර ලෙබනනයේ බෙකා ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇත.

හිස්බුල්ලා සංවිධානය ප්‍රබලව සිටින ගම්මාන හුදකලා කිරීම මෙහි අරමුණ බව සඳහන් වෙයි.

------------------------------

Update - 12.30PM

අද උදෑසන අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ සැන්ජාන් (Zanjan) ප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
--------------------------

Update - 12.05PM

චීනයට අයත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් ආරක්ෂිතව හෝමූස් සමුද්‍ර සන්ධිය පසු කර ගල්ෆ් කලාපයෙන් පිටවී ඇති බව විදෙස් වාර්තා සඳහන් වෙයි.

---------------------------

Update - 11.55AM

ඉරානයේ මර්කාසි (Markazi) පළාතේ පිහිටි මහල්ලත් (Mahallat) නගරයට ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන පුවත් සේවා වාර්තා කර ඇත.

---------------------------

Update - 11.37AM

ඉරානයේ සංවේදී ස්ථාන පිළිබඳ තොරතුරු විදේශීය ඔත්තු සේවා වෙත ලබාදුන් බවට චෝදනා කරමින් ඉරානයේ ආරක්ෂක අංශ විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

----------------------------

Update - 11.19AM
ඊශ්‍රායල ප්‍රහාරක යානා දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රී කාලයේදී එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයෙකු මියගොස් නිවාස රැසක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

-------------------------

Update - 11.15AM

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ගිනිගත් කුවේට් තෙල් නැවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදු වී නොමැති බව ඩුබායි බලධාරීන් තහවුරු කර තිබේ.

-----------------------------

Update - 11.07AM

ඉරානයේ ටෙහෙරාන් අගනුවර මධ්‍යයේ පිහිටි රජයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් තවත් ප්‍රහාර මාලාවක් එල්ල කර අවසන් කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.

---------------------------

Update - 11.01AM

යුද්ධය හේතුවෙන් මැදපෙරදිගින් ලැබෙන තෙල් සහ ගෑස් සැපයුම අඩාල වී ඇති පසුබිමක, බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ඉන්දුනීසියාව සමඟ සමීපව කටයුතු කරන බව ජපාන අගමැතිනී සානායි ටකායිචි පවසා තිබේ.

------------------------------

Update - 10.47AM

ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර බටහිර මායිමේ පිහිටි වර්ධාවර්ඩ් (Vardavard) ප්‍රදේශයේ පදිංචිකරුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඉදිරි පැය හතර ඇතුළත එම ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින්, නිවෙස්වලින් පිටතට නොයන ලෙස සහ එම ප්‍රදේශයට ඇතුළු නොවී සිටින ලෙස දන්වා ඇත.

--------------------------------

Update - 10.12AM

ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතියකට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

---------------------------
 

Update - 09.36AM

එක්සත් ජාතීන්ගේ සාම සාධක කණ්ඩායමට අයත් රථ පෙළකට සහ කඳවුරකට එල්ල වූ ප්‍රහාරවලින් ඉන්දුනීසියානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.

----------------------------

Update - 08.30AM

ටෙහෙරානයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

---------------------

Update - 08.15AM

මැදපෙරදිග ප්‍රධාන නිෂ්පාදකයින් දෙදෙනෙකුට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පසුව ඇලුමිනියම් මිල වසර හතරකට පමණ ඉහළම අගයට පැමිණ තිබේ.

විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ වාහන නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහයක් වන ඇලුමිනියම් ඊයේ (30) London Metal Exchangeහිදී 3% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3,401ක් ලෙස සටහන්ව තිබුණි. 

----------------------

Update - 08.00AM

ඉරානය විසින් තවත් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මෙම ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

-------------

Update - 07.50AM

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් විය හැකි කාලය පිළිබඳව කාලසටහනක් ඉදිරිපත් කිරීමට තමන් අකමැති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

යුද්ධය නිසැකවම එහි අඩක් පසු කර ඇති බවත්, ඉරාන ඉස්ලාමීය ජනරජය අවසානයේදී අභ්‍යන්තරව බිඳ වැටෙනු ඇති බවත් නෙතන්යාහු වැඩිදුරටත් පවසා ඇත.
--------------

Update - 07.10AM

කුවේට් තෙල් නෞකාවේ හටගත් ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකියාව ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

---------------

Update - 06.30AM

ඩුබායි වරායක නවතා තිබූ තම බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය පවසයි.

මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ නෞකාව තෙල්වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර, ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගෙන ඇත.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24දෙනාම ආරක්ෂිතව සිටින බවය.

-------------

Update - 05.50AM

ඩුබායි වරායේදී තම තෙල් නැවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කළ බව කුවේටය ප්‍රකාශ කිරීමත් සමඟ බොරතෙල් මිල සියයට 3.4 කින් ඉහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල ඩොලර් 106 ඉක්මවා ගොස් ඇත.

2022 වසරෙන් පසු ප්‍රථම වතාවට පසුගිය සඳුදා අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය.

--------------

Update - 05.30AM

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් අනුමැතිය ලබා දී ඇත.

ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජිකයෙකු මෙම සැලසුම අනුමත කළ බව තහවුරු කර ඇති අතර, ඒ යටතේ අමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කරනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මීට අමතරව, ඉරානයට එරෙහි සම්බාධක සඳහා දායක වූ අනෙකුත් රටවලට ද මෙම තහනම බලපැවැත්වෙනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානය ඕමානය සමඟ සහයෝගයෙන් මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කරන බවය.

ලෝකයේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ සාමාන්‍යයෙන් ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම වැදගත් නාවික මාර්ගය හරහා ප්‍රවාහනය කෙරේ. 

කෙසේ වෙතත්, නාවික බුද්ධි තොරතුරු ආයතනයක් වන Kplerට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට මෙම මාර්ගය හරහා සිදුවන ගමනාගමනය 95%කින් පමණ පහත වැටී ඇත.