වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි 

වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි 

March 29, 2026   09:38 am

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු සූදානම් කර තිබේ. 

ඒ අනුව ලබන 31 වෙනිදා පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීම සිදුවනු ඇත. 

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛ අවශ්‍යතාව ලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සැලකේ. 

මේ දක්වා එම ප්‍රකාශ ඉදිරිපත් කෙරුණේ, මුද්‍රිත ආකෘතියක් අතින් සම්පූර්ණ කිරීම මගින්ය.

මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ඇති කිරීම හුදෙක් පෝරමයක් මාර්ගගතව සම්පූර්ණ කිරීම පමණක් නොවන අතර වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීමකි.

සාවද්‍ය ආකාරයකට වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම මෙන්ම අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් හඳුනාගැනීම සඳහා සත්‍යායන පහසුකම් සලසමින් ද මෙම පද්ධතිය නිර්මාණය කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම ක්‍රියවලිය දූෂණ විරෝධී පනත මගින් ඇති කළ ශක්තිමත් නීතිමය රාමුව ප්‍රායෝගික බලගැන්වීමේ එක් සුවිශේෂි තාක්ෂණික අවශ්‍යතාවයක් වනු ඇත.

මෙම ඉලෙක්ට්‍රොනික් පද්ධතිය දියත් කිරීමෙන් මෙරට දූෂණ මර්දන කර්තව්‍යට නවීනත්වය, ස්වාධීනත්වය සහ කාර්යක්ෂමත්වය එක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.