මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 27, 2026 05:50 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (27) දින 28ක් ගතවී ඇත.
-----------------
Update 12:35 PM
බහරේනය තුළ අනතුරු ඇඟවීමේ සයිරන් සක්‍රීය කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
එම අමාත්‍යාංශය ජනතාවට සහ පදිංචිකරුවන්ට ඉල්ලා සිටින්නේ සන්සුන්ව සිටීමටත්, ආසන්න ආරක්ෂිත ස්ථානයකට ගමන් කිරීමටත්, නිල මාධ්‍ය ඔස්සේ ලබාදෙන යාවත්කාලීන තොරතුරු අනුගමනය කිරීමටත්ය.
-----------------
Update 12:00 PM
කටාර් හි හදිසි සේවා අංශ විසින් අද (27) නැවතත් ඉහළම ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සතියකින් පසු නිකුත් වූ මෙම අනතුරු ඇඟවීම රට පුරා ජංගම දුරකථන වෙත හදිසි ශබ්ද සහිත පණිවිඩයක් ලෙස යවා ඇති අතර, ජනතාවට නිවෙස් තුළ රැඳී සිටීමටත් ජනේලවලින් දුරස්ව සිටින ලෙසත් උපදෙස් ලබා දී ඇත.
මෙම අනතුරු ඇඟවීම මගින් මිසයිල් හෝ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉඟියක් දක්වන බවද සඳහන් වේ.
-----------------
Update 11:30 AM
කුවේට් නගරයට ආසන්න ෂුවයික් වරාය ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව කුවේට් වරාය අධිකාරිය පවසයි.
අද (27) උදෑසන මෙම ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එම ප්‍රහාරයෙන් වරායට දේපළ හානි සිදුව ඇති නමුත්, කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නොමැති බවද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
-----------------
Update 10:55 AM
මැදපෙරදිග කලාපයට තවත් අමතර දස දහසක හමුදා භට පිරිසක් යෙදවීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාම සාකච්ඡා සඳහා යොමු වීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කර ඇති බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළ පවා ඔහුමෙලෙස හමුදා විකල්ප පිළිබඳව තවදුරටත් සොයාබලමින් සිටින බව 'වෝල්ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත පවසයි.
මෙම අමතර කණ්ඩායමට ගොඩබිම් හමුදා භට පිරිස් මෙන්ම සන්නද්ධ රථ ඇතුළත් විය හැකි බවට එම පුවත්පත වාර්තා කර තිබේ.
කෙසේවෙතත් මෙම අමතර භට කණ්ඩායම් අනුයුක්ත කරන ප්‍රදේශය නිශ්චිතව වාර්තා වී නොමැති බව සඳහන්ය.
-----------------
Update 10:12 AM
ඉරානයේ න්‍යෂ්ටික අනතුරක් සිදුවීම වළක්වා ගැනීම සඳහා "උපරිම සංයමයකින්" කටයුතු කරන ලෙස ජාත්‍යන්තර පරමාණු ශක්ති ඒජන්සිය (International Atomic Energy Agency) ඉල්ලීමක් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම සිදු වී ඇත්තේ අඟහරුවාදා ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා පළවීමෙන් අනතුරුවය.
එම බලාගාරය සක්‍රීයව ක්‍රියාත්මක වන න්‍යෂ්ටික ස්ථානයක් බැවින්, එහි හානියක් සිදුවුවහොත් ඉරානය තුළ පමණක් නොව ඉන් ඔබ්බට විශාල ප්‍රදේශයකට බලපාන බරපතල විකිරණශීලී අනතුරක් සිදුවිය හැකි බව IAEA අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi අවධාරණය කර ඇත.
-----------------
Update 9:00 AM
ආසියානු වෙළෙඳපොළේ අද (27) පෙරවරුව වන විට බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකානු බොරතෙල් (WTI) මිලද 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස වාර්තා වේ.
මෙම මිල පහළ යෑම සිදුව ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමකට දී තිබූ තාවකාලික විරාමය දින 5 සිට සති 2 දක්වා දීර්ඝ කිරීමෙන් අනතුරුවය.
එසේම, මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් 111.81ක් ලෙස සටහන් වී තිබේ.
-----------------
Update 8:15 AM
ඉරානයේ කොම් නගරයේ නේවාසික නිවාස තුනක් ඉලක්ක කරමින් එල්ල කළ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති බව කොම්හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.
-----------------
Update 7:40 AM
අවසන් පැය කිහිපය තුළ කුවේට්හි හදිසි අනතුරු ඇඟවීම් 'සයිරන්' ශබ්ද වී ඇති අතර, එමෙන්ම පිපිරීම් ශබ්දද ඇසුණු බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
කුවේට් ජාතික ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේදී ප්‍රහාරයක් ලෙස පැමිණි ඩ්‍රෝන දෙකක් සාර්ථකව විනාශ කළ බවය.
-----------------
Update 6:25 AM
ලෙබනනයේ, බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට අද (27) අලුයම ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් ලෙස සැලකෙන එම ප්‍රදේශය තුළ පිපිරීම් කිහිපයක් ඇසුණු බවද සඳහන්ය.
සිද්ධියෙන් අනතුරුව එම ප්‍රදේශයෙන් දුමාරය ඉහළට නැඟෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
-----------------
Update 5:55 AM
ඉරාන බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම තවත් දින 10ක කාලයක් සඳහා නැවැත් වීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රමි පවසයි.
ඉරානය සමග සාකච්ඡා අඛණ්ඩව පවත්වන බැවින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකළේය.
පසුගිය සඳුදා දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් දින පහක සටන් විරාමයක් ප්‍රකාශයට පත්ක් කරනු ලැබීය.
කෙසේවෙතත් ඊයේ දින සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රමි පැවසුවේ ඉරාන රජයේ ඉල්ලීම පරිදි බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ කාලය ලබන අප්‍රේල් මස හයවන සදුදා රාත්‍රී 8වන තෙක් දින 10ක කාලයක් සඳහා නවතා දැනීමට තීරනය කල බවය.
-----------------
