රටම එකට මාස 5ක ප්‍රගතිය - මතභේදයට තුඩු දුන් බහාලුම් 323 ගැනත් අනාවරණයක්
March 26, 2026 11:34 am
'රටම එකට' ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වී මාස පහක් ගතවී ඇති කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් 1,911 දෙනෙකු පුනරුත්තාපනය කිරීමට හැකියාව ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා, මහතා පවසයි.
'රටම එකට' ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ, බස්නාහිර පළාතේ සිදුවන සියලූම දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට 0777 128128 යන නව වට්ස්ඇප් අංකය මහජනතාවට හඳුන්වා දෙන බවය.
සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් 1997 සහ 119 යන අංකයන්ට රට පුරා පොලිස් ස්ථාන 608ක් සම්බන්ධ කර ඇති බවත් ඒ හරහා ජනතාවට මෙම අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන්ගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති අතර බවද එෆ්.යු. වුට්ලර් මහතා මෙහදී සඳහන් කළේය.
පොලීසියේ දායකත්වය
2025 වසරේ ඔක්තෝබර් මස 30 වන දින ආරම්භ කළ 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (25) දිනය වනවිට හෙරොයින් කිලෝ 1,071යි ග්‍රෑම් 338ක්, අයිස් කිලෝ 1,938යි ග්‍රෑම් 299ක්, ගංජා කිලෝ 4,917යි ග්‍රෑම් 387ක් සහ මත් පෙති 99,454ක් පොලීසිය භාරයට ගෙන තිබේ.
එහිදී රට පුරා සැකකරුවන් 114,000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් සැකකරුවන් 215දෙනෙකු නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සැකකරුවන්ගෙන් 2,367 දෙනෙකු සඳහා මේ වනවිට අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
2026 වසරේ ජනවාරි මස 1 වන දින සිට මේ දක්වා පුද්ගලයින් ලක්ෂ 24ක් සෝදිසි කර ඇති අතර, ඉන් 1,479ක පිරිසක් විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී දින වරෙන්තුකරුවන් 22,871ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, විවෘත වරෙන්තුකරුවන් 13,944ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බීමත් රියදුරන් 28,270ක් නීතියේ රැහැනට කොටු කරගෙන තිබේ.
මේ වසර තුළද මේ වනවිට හෙරොයින් කිලෝ 656ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, 2024,2025 සහ 2026 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවන් 29 දෙනෙකු උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව තිබේ.
තවත් 89 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත් කර කඩිනමින් ලංකාවට රැගෙන ඒමට නියමිතයි.
මේ අතර 2024 වසරේ දී සැකකරුවන් 49 දෙනෙකුට අදාළව රු මිලියන 1,597ක දේපොළ රජය සතු කර ගෙන එම දේපොළ තාවකාලිකව අක්‍රිය කර ඇති අතර, 2025 දී රු මිලියන 1,546ක රත්‍රං, මුදල්, වාහන සහ ඉඩම් රජය සතු කර ඇත.
2026 වසරට අදාළවද මේ දක්වා රු මිලියන 170ක දේපොළ රජය සතු කරගැනීමට කටයුතු කර තිබේ.
2024, 2025 සහ 2026 මේ දක්වා වූ කාලය තුළ දී හෙරොයින් කිලෝ 1,065යි ග්‍රෑම් 462ක්, කොකේන් කිලෝ 355යි ග්‍රෑම් 881ක්, අයිස් කිලෝ 659යි ග්‍රෑම් 690ක්, ගංජා කිලෝ 913යි ග්‍රෑම් 124ක් සහ මත්පෙති ලක්ෂ 151ක් විනාශ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.
යුද හමුදාවේ දායකත්වය
ශ්‍රී ලංකා යුද හමුදාව රටම එකට ජාතික මෙහෙයුම සඳහා යුද හමුදාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සක්‍රීයව දායක වී ඇතැයි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.
මෙහිදී දෙස් විදෙස් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු රැස්කිරීමට නාවික හමුදාව, පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය සමඟ කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.
එහිදී රට පුරා සිදුකළ රටම එකට මෙහෙයුම් සඳහා යුද හමුදා සාමාජිකයින් 7,000ක් පමණ විටින් විට දායක වී ඇති බවත් මෙහෙයුම් 200ක් මැඩලීමට ඍජුව දායක වී ඉන් පුද්ගලයින් 200ක් පමණ සිය භාරයට ගැනීමට යුද හමුදාව කටයුතු කර ඇතැයි ද බ්‍රිගේඩියර් වරුණ ගමගේ මෙහිදී සඳහන් කළේය.
ගුවන් හමුදාවේ දායකත්වය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රටම එකට ජාතික මෙහෙයුමේ දී ගුවන් පැය 250කට ආසන්න කාලයක් ආවේක්ෂණ මෙහෙයුම් සිදුකර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් නලීන් වැවකුඹුර මහතා පැවසීය.
අදාළ මෙහෙයුම් සඳහා ගුවනින් සහ භූමියෙන් සිය දායකත්වය ලබාදෙමින් රට තුළට ඇතුළු වන අනවසර නෞකා හඳුනා ගැනීම නාවික හමුදාවේ ප්‍රධාන කාර්ය භාරය වූ බවද ගෘප් කැප්ටන් නලීන් වැවකුඹුර මහතා කියා සිටියේය.
එමෙන්ම ඩ්‍රෝන යානා යොදා ගනිමින් නිරීක්ෂණ කටයුතු සිදුකිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සිය දායකත්වය නොමඳව ලබාදෙන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.
නාවික හමුදාවේ දායකත්වය
ජාත්‍යන්තර වශයෙන් මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් බුද්ධිමය තොරතුරු හුවමාරු කරගනිමින් විෂ මත්ද්‍රව්‍ය පාලනයට කටයුතු කිරීම නාවික හමුදාවේ ප්‍රධානම කාර්ය භාරය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි.
2025 වසරේ දී සිදුකළ නාවික මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, කොකේන් යන විෂ මත්ද්‍රව්‍ය තුන පමණක් දළ වීථි වටිනාකම බිලියන 71කට අධික ප්‍රමාණයක්, 2026 වසරේ දී දළ වීථි වටිනාකම රු බිලියන 25කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම වසර තුළ බහුදින යාත්‍රා 9ක් සහ පුද්ගලයින් 49කු සහ පසුගිය වසරේ දී බහුදින යාත්‍රා 13ක් සිය භාරයට ගත් බවද සඳහන් කර සිටි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා, විෂ මතපෙති කංසා සහ විදේශ දුම්වැටි සහිත යාත්‍රා 123ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇතැයි පැවසීය.
ඉදිරි කාලය තුළ නාවික හමුදා මෙහෙයුම් තීව්ර කරන බවත් ජාවාරම්කරුවන්ට කිසිසේත්ම රට තුළට විෂ මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඉඩක් නොමැති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා රේගුවේ දායකත්වය
රටම එකට විෂ මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික මෙහෙයුම තුළදී සමාජ ආරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව විශාල කාර්ය භාරයක් සිදුකර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, චන්දන පුංචිහේවා මහතා පවසයි.
මතභේදයට තුඩු දී ඇති බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කොටසක් විමර්ශනය කිරීමට තමාට ද අවස්ථාව හිමි වූ අතර, එම බහාලුම්වලින් කොටසෙහි කිසිදු ගැටලුවක් නොමැති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.
2025 දී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වැටලීම් 147ක් සිදුකර ඇති අතර, එහිදී කිලෝ 435ක් සියභාරයට ගෙන ඇති බවද පැවසු රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා එහි වටිනාකම රු බි 5.8ක් බවද පැවසීය.
