ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර -  මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර - මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 24, 2026   06:24 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (24) දින 25ක් ගතවී ඇත.

-----------------------

Update 8.00AM

ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට තවත් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හමුදාව ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

------------------

Update 7.45AM

ඉරාකයේ Anbar කලාපයේ පිහිටි, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක මූලස්ථානය ඉලක්ක කරගනිමින් අමෙරිකාව තවත් ප්‍රහාරයක් එල්ල කර ඇත. 

මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ එම කණ්ඩායමේ නායක සාද් දුවායි (Saad Dawai) වන බව සඳහන්.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඔවුන් එම මූලස්ථානය තුළ රැස්වීමක් පවත්වමින් සිටි බව වාර්තා වේ.

-------------------------

Update 7.15AM

ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthurහි පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක් සිදුව තිබේ.

ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙසය.

මෙම ප්‍රබල පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර, පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් මෙම පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.
 
නමුත් වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දීමක් කර ඇත. 

නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස්වල දොර ජනෙල් වසාගෙන ඇතුළතට වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති අතර, රථවාහන ගමනාගමනය ද සීමා කර තිබේ.

-----------------------

Update 6.50AM

මාසයකට අඩු කාලයකදී අමෙරිකාවේ පෙට්‍රල් මිල සියයට 75කින් පමණ ඉහළ යාමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගකිව යුතු බව අමෙරිකානු සෙනෙට් සභාවේ සුළුතර පක්ෂ නායක චක් ෂූමර් පවසයි.

------------------------

Update 6.45AM

ඉරාන ප්‍රහාර හේතුවෙන් සම්ප්‍රේෂණ මාර්ගවලට හානි වීමෙන් කුවේටයේ විදුලිය ඇනහිටීම් වාර්තා වී ඇත.

----------------------

Update 6.40AM

ඉරානයට එරෙහිව අමෙරිකානු සහාය ඇතිව ඊශ්‍රායලය දියත් කරන යුද්ධයේ බලපෑම, 2022 වසරේ රුසියාවේ යුක්රේන ආක්‍රමණයේ බලපෑම අභිබවා යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

-----------------------

Update 6.30AM

ඉරාකයේ බටහිර Anbar පළාතේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අන්බාර් පළාතේ එම සංවිධානයේ අණදෙන නිලධාරියා වූ සාද් දුවායි අල්-බයිජි ද මියගිය පිරිස අතර සිටින බවය.