යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 23, 2026 06:30 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (23) දින 24ක් ගතවී ඇත.
----------------
Update - 05.34 PM
ඉරානය සහ අමෙරිකාව අතර පවතින ගැටුම් සමනය කර ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ, අද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
----------------
Update - 04.40 PM
මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
--------------------------
Update - 03.05 PM
ඉරාන බලධාරීන් විසින් එරට පුරා පනවා ඇති අන්තර්ජාල විසන්ධි කිරීම අද වන විට අඛණ්ඩව 24 වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පැය 552ක සීමාව පසුකර ඇති මෙම බිඳවැටීම ලොව ඕනෑම රටක මෙතෙක් වාර්තා වූ දරුණුතම අන්තර්ජාල විසන්ධි කිරීම් අතරින් එකක් බවද සඳහන්.
------------------
Update - 02.50 PM
දකුණු ලෙබනනයේ Tyre දිස්ත්‍රික්කයේ al-Shahabiya ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර දැඩි ලෙස දේපළ හානි සිදුවී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
------------------
Update - 02.40 PM
ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ යන බලශක්ති පිරිවැයෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් සැලසීම සඳහා නව ආධාර වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරන බව ග්‍රීක අගමැති කිරියාකොස් මිසෝටාකිස් මහතාගේ කාර්යාලය පවසයි.
---------------
Update - 02.25 PM
ඊයේ (22) රාත්‍රී කාලයේදී දකුණු ලෙබනනයේ දේශසීමා ආසන්න ප්‍රදේශවලට ඊශ්‍රායල හමුදාව විසින් අඛණ්ඩව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
නැගෙනහිර දේශසීමාවේ පිහිටි Khiam සහ Nabatieh සිට Tyre නගරය අසල Chehabiyeh නගරය දක්වා මෙම ප්‍රහාර ව්‍යාප්ත වී ඇත.
මෙම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
----------------
Update - 02.00 PM
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය තීව්‍ර වීමත් සමඟ උද්ධමනය පිළිබඳ අවදානම සහ ගෝලීය පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් රන් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබේ.
--------------
Update - 01.05 PM
ටැබ්‍රිස් නගරයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
---------------
Update - 12.10 PM
අමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන මැදපෙරදිග කලාපීය බලාගාරවලට පහර දෙන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
ඒ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් කාලසීමාව අවසන් වීමට ආසන්නව ඇති මොහොතකය.
ඉරාන විප්ලවීය බළකාය (IRGC) විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය, ගල්ෆ් කලාපීය අරාබි රටවලට එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීමට ටෙහෙරානය දරන නවතම උත්සාහය ලෙස සැලකේ.
සඳුදා උදෑසන ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී.
ඉරාන ප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය තවදුරටත් අඩාල වී පවතින්නේ නම්, ඉදිරි පැය 48 ඇතුළත ඉරාන බලාගාර වෙත ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් ඉරිදා අලුයම අනතුරු ඇඟවීමක් කර තිබුණි.
--------------
Update - 11.45 AM
මැදපෙරදිග උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ආර්ථිකය දැවැන්ත තර්ජනයකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් පවසයි.
මෙම යුදමය වාතාවරණය තවදුරටත් පැවතුණහොත් එහි බලපෑමෙන් මිදීමට ලොව කිසිදු රටකට නොහැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන් ඉන්ධන, ගෑස් ඇතුළු බලශක්ති පහසුකම් ආශ්‍රිතව එල්ල වී ඇති ප්‍රහාර, ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර අවම වශයෙන් කලාපය තුළ පිහිටි බලශක්ති යටිතල පහසුකම් 40ක් දරුණු හෝ ඉතා දරුණු ලෙස හානියට පත්ව ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පෙන්වාදී තිබේ.
මෙම අර්බුදය කඩිනමින් අවසන් වීම සිය අපේක්ෂාව වන අතර ඒ සඳහා ගෝලීය වශයෙන් ප්‍රයන්තනයන් දැරිය යුතු බව ද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර අමෙරිකාව හා ඊශ්‍රායලය විසින් තම රටේ විදුලි පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ බලශක්ති හා ජල සැපයුම් පද්ධතිවලට පහරදෙන බවට ඉරානය විසින් සිදුකර ඇති අනතුරු ඇඟවීම ගල්ෆ් කලාපය පුරා දැඩි අවදානමක් නිර්මාණය කර ඇති බව විදෙස් විශ්ලේෂකයින් පවසයි.
--------------
Update - 11.00 AM
ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තමන් අද (23) දිනය තුළ පමණක් හමුදා මෙහෙයුම් 63ක් සිදු කළ බවයි.
ඊශ්‍රායලය තුළ සහ දකුණු ලෙබනනයේ සිටින ඊශ්‍රායල හමුදාවන්ට එරෙහිව රොකට් ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් මෙහිදී කටයුතු කර ඇත.
2026 මාර්තු 02 වන දින සිට ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 1,029දෙනෙකු මියගොස් 2,786දෙනෙකු තුවාල ලබා ඇත.
මීට අමතරව මිලියනයකට අධික පිරිසක් අවතැන් වී සිටිති.
-------------------
Update - 10.45 AM
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළඳපොළවල් අද (23) දැවැන්ත පසුබෑමකට ලක්ව තිබේ.
හොංකොංහි Hang Seng දර්ශකය සියයට 3.3කින් පහත වැටී ඒකක 24,435.74ක් ලෙස සටහන් වූ අතර, චීනයේ Shanghai Composite දර්ශකය සියයට 2.3කින් පහත වැටී ඒකක 3,867.51ක් දක්වා අඩු වී ඇත.
සිංගප්පූරුවේ Straits Times දර්ශකය ද සියයට 2.1කින් පහත වැටී ඒකක 4,884.710ක් ලෙස වාර්තා විය.
මීට අමතරව පිලිපීන කොටස් වෙළඳපොළ සියයට 3.17කින් සහ තායිලන්ත කොටස් වෙළඳපොළ සියයට 2.15කින් ද පහත වැටී ඇත.
-------------
Update - 10.10 AM
අමෙරිකානු -ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, අත්‍යවශ්‍ය බලශක්ති සම්පත්වල අඛණ්ඩ වෙළඳාම තහවුරු කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව විශේෂ ගිවිසුමකට අත්සන් තබා ඇත.
---------------
Update - 09.55 AM
ටෙහෙරානයට බටහිරින් පිහිටි කොරාමාබාද් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් දරුවෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, මියගිය සහ තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.
----------------
Update - 09.20 AM
ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි ඇරම්කෝ සමාගම අප්‍රේල් මාසය සඳහා ආසියානු ගැනුම්කරුවන් වෙත ලබාදෙන බොරතෙල් සැපයුම දෙවන වරටත් කප්පාදු කර ඇති බව වාර්තා වේ.
අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන වෙළඳ කටයුතුවලට බාධා එල්ල වීම මීට හේතු වී තිබේ.
විදෙස් මාධ්‍ය වලට අනුව අප්‍රේල් මාසයේදී රතු මුහුදේ පිහිටි යාන්බු වරාය හරහා අපනයනය කරන ‘Arab Light’ වර්ගයේ බොරතෙල් පමණක් තම පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගම තීරණය කර ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු පිරිපහදුවලට සැපයුම් දැඩි ලෙස පවත්වා ගෙන යන අතර ඒවායේ පිරිපහදු කළ නිෂ්පාදන නිෂ්පාදනය සීමා කරයි.
---------------
Update - 08.52 AM
තුර්කිය සහ ඉරාක දේශ සීමා ආසන්නයේ පිහිටි වයඹදිග උර්මියා නගරයේ නේවාසික ප්‍රදේශයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
--------------
Update - 08.30 AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධය හෙළා දකිමින් ඉරානය පුරා නගර කිහිපයක ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
--------------------
Update - 08.10 AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය හේතුවෙන් වෙළඳපොළේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ, දකුණු කොරියානු මුදල් ඒකකය (වොන්) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වසර 17කට පසු එහි දුර්වලම මට්ටමට ඇද වැටී ඇත.
ඒ අනුව, කොරියානු වොන් අගය ඩොලරයකට සාපේක්ෂව 1,510 දක්වා පහත වැටී ඇති අතර, මෙය 2009 වසරෙන් පසු වාර්තා වූ අවම අගය බව වාර්තා වේ.
ජපන් යෙන් අගය ද ඉතිහාසයේ අඩුම මට්ටමට ඇද වැටීමේ තර්ජනයකට ලක්ව ඇති අතර, සඳුදා එරට වේලාවෙන් 02:00 වන විට ඩොලරයකට සාපේක්ෂව යෙන් 159.5ක් ලෙස සටහන් වී ඇත.
--------------------
Update - 07.55 AM
මැදපෙරදිග පවතින තත්ත්වය අතිශය බරපතල බවත්, එය 1970 දශකයේ ඇති වූ බලශක්ති අර්බුද දෙකේම එකතුවට වඩා දරුණු බවත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් අනතුරු අඟවා තිබේ.
පවතින අර්බුදයට ඇති ලොකුම විසඳුම හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම බවද ඔහු සඳහන් කර ඇත.
-------------
Update - 07.10 AM
දකුණුදිග වරාය නගරයක් වන බන්ඩර් අබ්බාස්හි පිහිටි ඉරාන රජයේ IRIB ගුවන් විදුලි මධ්‍යස්ථානයට අයත් කිලෝවොට් 100ක ධාරිතාවයකින් යුත් AM සම්ප්‍රේෂකයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.
---------------
Update - 07.00 AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයේ ඉලක්ක කිහිපයකට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගතවූ පැය 24 තුළ එක් දරුවෙකු මියගොස් තවත් සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානයේ මියගිය සමස්ත සිවිල් වැසියන් සංඛ්‍යාව 1,407 දක්වා ඉහළ ගොස් තිබේ.
--------------
Update - 06.41 AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ බැලස්ටික් මිසයිලයක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සාර්ථකව විනාශ කර ඇති අතර, ඉන් ඇද වැටුණු සුන්බුන් හේතුවෙන් ඉන්දීය ජාතිකයෙකු සුළු තුවාල ලබා ඇති බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය පවසයි.
මෙම සිදුවීම අබුඩාබි හි අල් ෂවාමෙක් ප්‍රදේශයේදී සිදුව ඇති බව එම කාර්යාලය X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
----------------------------
Update - 06.40 AM
ලෝක වෙළෙඳපොළේ WTI බොරතෙල් මිල සියයට 1.8කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ද ඊට සමාන වේගයකින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 113.44ක් ලෙස සටහන් ව ඇති අතර වෙළඳාම ආරම්භ වී විනාඩි 45ක් පමණ ගත වන විට එය ඩොලර් 111 දක්වා සුළු වශයෙන් පහත වැටී ඇත.
ඉරානයට එරෙහිව ප්‍රහාර ආරම්භ වීමට පෙර දිනය වූ පෙබරවාරි 27 වනදා, මෙම මිල ගණන් පිළිවෙළින් බැරලයකට ඩොලර් 67.02 ක් සහ ඩොලර් 72.48 ක් ලෙස පැවතුණි.
-------------------------
Update - 06.35 AM
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලොව පුරා සිටින අමෙරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සිය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයක් යුතුව කටයුතු කරන ලෙසය.
ඒ අනුව සියලු අමෙරිකානුවන් ළඟම පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
කාලානුරූපව ගුවන් අවකාශය වසා දැමීම මෙන්ම මැද පෙරදිගින් පිටත ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ඉලක්ක විය හැකි බවත් ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විදේශයන් හී අනෙකුත් එක්සත් ජනපද අවශ්‍යතා හෝ එක්සත් ජනපද හා ලොන පුරා අමෙරිකානුවන් හා සම්බන්ධ ස්ථාන ඉලක්ක විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.
මේ හේතුවෙන් වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසත් දන්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින සියලු අමෙරිකානුවන්ට යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
-------------
Update - 06.30 AM
හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කරන ලෙස හෝ එසේ නොමැති නම් බලශක්ති පද්ධතියට ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය හමුවේ ඉරානය කිසිදු යටත් වීමේ හෝ දුර්වලතාවයක ලකුණක් නොපෙන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ටෙහෙරානය ට්‍රම්ප්ගේ තර්ජනය දැඩි ලෙස සලකන බවත්, එවැනි තර්ජනයකට ප්‍රතිචාර දැක්වීම සඳහා සිය මෙහෙයුම් සකස් කරමින් සිටින බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
