යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 21, 2026   06:25 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (21) දින 22ක් ගතවී ඇත.

---------------------- 

ප.ව. 07.35

ඉරානයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඒ අතර බැලස්ටික් මිසයිල උපාංග නිෂ්පාදනය කරන ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අයත් ප්‍රධාන මධ්‍යස්ථානයක් ද වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී. 

----------------------

ප.ව. 07.15

ඉරානය තම අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල් සහ අනෙකුත් මුස්ලිම් රටවල් සමඟ ගැටුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු නොවන බවත්, ඔවුන් ඉරානයේ "සහෝදරයන්" බවත් ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසයි.

එමෙන්ම එළඹෙන ඊද් අල්-ෆිතර් උත්සවය මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් අනුගමනය කරමින් "ශක්තිය සහ සමගිය" උදා කරනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කළ අතර, ඉරාන නව වසර ද ඔහු උණුසුම් ලෙස පිළිගත්තේය.
----------------------

ප.ව. 06.50

ලෙබනනයේ සිට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පසු උතුරු ඊශ්‍රායලයේ ගොඩනැගිලි දෙකකට රොකට් සුන්බුන් පතිත වීමෙන් හානි සිදුවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙටුලා නගරය දෙසට රොකට් 10ක් පමණ විද ඇති බවත්, ඉන් සමහරක් ගුවනේදීම විනාශ කර ඇති අතර අනෙක් ඒවා විවෘත ප්‍රදේශවලට පතිත වූ බවත් ය.

මෙම ප්‍රහාරය අතරතුර උතුරු ඊශ්‍රායලයේ ගලීල කලාපය පුරා ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇති බවද සඳහන්.

----------------------

ප.ව. 06.10

හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් උතුරුදිග ඊශ්‍රායලයේ සෆෙඩ් නගරයට පතිත වී ඇති බවත්, ඉන් මාර්ගයකට සහ අවට ගොඩනැගිලිවලට සුළු හානි සිදුවී ඇති බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

----------------------

ප.ව. 05.30

ඊශ්‍රායල හමුදාව සහ එක්සත් ජනපද හමුදාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාරවල තීව්‍රතාවය බෙහෙවින් වැඩි කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කැට්ස් ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලයට සහ එක්සත් ජනපද අවශ්‍යතාවලට එරෙහිව පවතින සියලුම ආරක්ෂක තර්ජන ඉවත් කරන තුරු ඉරානය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් ඉලක්ක කිරීම අඛණ්ඩව සිදු කරන බවය.

------------------

ප.ව. 05.20

තමා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X  පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

මැදපෙරදිග කලාපයේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර මෙහිදී ඔහු විවේචනය කර ඇති අතර නාවික ගමන් මාර්ගවල ආරක්ෂාව සහ ඒවා විවෘතව තැබීමේ වැදගත්කම යළිත් අවධාරණය කර ඇත.

"ඉරානයේ සිටින ඉන්දීය ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරානය ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කළා," යැයි ද අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

---------------------

ප.ව. 05.10

බේරූට් නුවර දකුණු තදාසන්න ප්‍රදේශවල සිටින ලෙබනන හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ලෙබනන රජයට අනුව, ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇත.

මෙම යුද්ධය අතරතුර ඉරානය තුළ පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් මියගොස් තිබේ. 

ඊශ්‍රායලයේදී ඉරාන මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 15දෙනෙකු මියගොස් ඇති අතර, අත්පත් කරගත් බටහිර ඉවුරේ තවත් සිව් දෙනෙකු මියගොස් ඇත.

එසේම, අවම වශයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 13දෙනෙකු මියගොස් ඇති අතර 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

-------------------------

ප.ව. 05.05

නිරිතදිග කුසෙස්තාන් පළාතේ අහ්වාස් නගරයට එල්ල කළ ප්‍රහාරයකින් දරුවෙකු මිය ගොස් ඇති බවත්, දරුවාගේ දෙමාපියන් තුවාල ලබා ඇති බවත් ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

පිපිරීම සිදු වූ ස්ථානයේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල සහන සේවකයින් මේ වන විට නිරතව සිටින බවද වාර්තා වේ.

---------------------

ප.ව. 04.45

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු හමුදා සංකීර්ණයක් වන වික්ටරි බේස් අසලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් විශාල ගින්නක් හටගෙන තිබේ.

ඉරානයට එරෙහිව අමෙරිකානු-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට මෙම ප්‍රදේශය දිගින් දිගටම ප්‍රහාරවලට ලක්වෙමින් පවතී.

---------------------

ප.ව. 04.15

බැග්ඩෑඩ්හි ඉරාක බුද්ධි අංශ මූලස්ථානය අසලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එහි නිලධාරියෙකු මිය ගොස් ඇත.

----------------------

ප.ව. 04.00

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය මේ වන විට සිව්වන සතියට එළඹ ඇති අතර, ඉරානය තුළ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඉරාන සන්නද්ධ හමුදා ඔවුන්ගේ 70වන ප්‍රහාරක රැල්ල ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු කඳවුරු වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ. 

ඉරානයේ දකුණු පාර්ස් ස්වාභාවික වායු නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඉරානය ද ගල්ෆ් අරාබි රටවල බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇත.

------------------------

ප.ව. 03.45

මසන්දරන් පළාතේ කැස්පියන් මුහුද අසබඩ පිහිටි ඉරානයේ වෙරළබඩ නගරයක් වන රම්සාර්හි පිහිටි නිවස සංකීර්ණයකට අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රැය පුරා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

----------------------

ප.ව. 03.10

ඉරානයේ නටාන්ස් වෙත නැවතත් ප්‍රහාර එල්ල වී තිබේ. 

යුද්ධයේ පළමු සතියේදී ද මෙයට ප්‍රහාර එල්ල වූ අතර, එම අවස්ථාවේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බව පෙනෙන්නට තිබුණි.

මෙම ප්‍රහාරය, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ අනෙකුත් න්‍යෂ්ටික ආරක්ෂණ රෙගුලාසි ඇතුළු ජාත්‍යන්තර නීති සහ කැපවීම් උල්ලංඝනය කිරීමක් බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කර සිටී.
----------------------

ප.ව. 02.50

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ මිත්‍ර පාර්ශවයන්ට සහ ආසියා පැසිෆික් කලාපයේ රටවලට මෙම ගැටුමට සම්බන්ධ වන ලෙස බලකරමින් සිටින බව වාර්තා වේ.

-------------------

ප.ව. 02.40

ඉරාක අගනුවර වන බැග්ඩෑඩ් හි මන්සූර් නේවාසික ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඉන් එක් ඩ්‍රෝන ප්‍රහාරයක් ඉරාක බුද්ධි අංශ ගොඩනැගිල්ලක් ඉලක්ක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

-----------------------

ප.ව. 02.10

දකුණු ලෙබනනයේ ක්‍රියාත්මක වූ ඒකාබද්ධ ගුවන් සහ ගොඩබිම් මෙහෙයුම්වලදී සන්නද්ධ හිස්බුල්ලා සටන්කාමීන් සිව්දෙනෙකු ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.

එම මෙහෙයුම් අතරතුර ඊශ්‍රායල හමුදාවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල වූ නමුත්, ඔවුන්ගේ කිසිදු සෙබළෙකුට තුවාල සිදුවී නොමැති බව එරට හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය. 

-------------------

ප.ව. 01.40

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ජපානයේ කියෝඩෝ නිව්ස් පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධය අවසන් වීමට හුදු සටන් විරාමයකට වඩා වැඩි යමක් ටෙහෙරානයට අවශ්‍ය බවය.

-----------------------------

ප.ව. 01.10

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි වෙනුවෙන් පැවැත්වුණු අවමංගල්‍ය පෙරහැර සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

-------------------------------

ප.ව. 12.55

මධ්‍යම ඊශ්‍රායලයේ ප්‍රහාර කිහිපයක් එල්ල වූ බවට ලැබුණු වාර්තා අනුව, සහන සේවා සහ මුදාගැනීමේ කණ්ඩායම් එම ස්ථාන කරා යොමු කර ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත.

X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිකුත් කරන ලද මෙම නිවේදනය පළ වූයේ, සෙනසුරාදා අලුයම සිට ඊශ්‍රායලය වෙත එල්ල වූ සිව්වන මිසයිල ප්‍රහාරක රැල්ලෙන් පසුවය. 

තවමත් පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ ආරක්ෂිත ස්ථාන කරා ගොස් එහි රැඳී සිටින ලෙස හමුදාව නැවතත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

------------------------------

ප.ව. 12.34

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළ දිගින් දිගට පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.

-----------------------

ප.ව. 12.30

රාමසාන් මාසයේ අවසානය සනිටුහන් කරමින් පවත්වනු ලබන ඊද් අල්-ෆිතර් යාච්ඥාව සඳහා ඉරාකයේ ශුද්ධ වූ කර්බාලා නගරයට දස දහස් සංඛ්‍යාත ෂියා මුස්ලිම් බැතිමතුන් පිරිසක් එක්රොක් වී සිටී.

කර්බාලාහි ඊද් යාච්ඥාව මෙහෙයවූ ෂෙයික් අහමඩ් අල්-සාෆි, ඉරානයට සහ ලෙබනනයට එල්ල වන ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු බව ඉරාක සහ ඉරාන පුවත් සේවා වාර්තා කර ඇත.

එමෙන්ම මාරාන්තික ගුවන් ප්‍රහාරවලින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබා දෙන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

------------------------------

ප.ව. 12.15

ඊශ්‍රායල හමුදාව විසින් තවත් මිසයිල ප්‍රහාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. 

මෙය අද (21) අලුයම සිට නිකුත් කරන ලද සිව්වන (04) අනතුරු ඇඟවීම වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තර්ජනය පහව යන තෙක් ආරක්ෂිත ස්ථාන කරා ගොස් එහි රැඳී සිටින ලෙස හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

----------------------------

ප.ව. 12.00

බලශක්ති සැපයුම් හිඟය මඟහරවා ගැනීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ, ඉන්දියානු තෙල් පිරිපහදු සමාගම් යළිත් ඉරානයෙන් තෙල් මිලදී ගැනීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

---------------------------

පෙ.ව. 11.30

උතුරු ඉරානයේ ගිලාන් ප්‍රාන්තයේ කියාෂහර්හි පිහිටි දස්තක් ගම්මානයේ නේවාසික ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. 

------------------------------

‍පෙ.ව. 11.10

බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීමේ අරමුණින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව යළි තහවුරු කරන ලෙස ඉල්ලා සිටින යුරෝපීය රටවල් කිහිපයක සහ ජපානයේ කණ්ඩායම සමඟ තමන් ද එක්වන බව සෝල් පාලනය නිවේදනය කර තිබේ.

දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, "මෙම තීරණය මගින් ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ආරක්ෂාව සහ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳ අපගේ මූලික ස්ථාවරය මෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධියේ බාධා කිරීම් අපගේ බලශක්ති සැපයුමට සහ ආර්ථිකයට එල්ල කළ හැකි සෘජු බලපෑම පිළිබඳ අවධානය ද පිළිබිඹු වන" බවය.

---------------------------

‍පෙ.ව. 11.00

පසුගිය පැය දෙක ඇතුළත නැගෙනහිර ප්‍රදේශයට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන ප්‍රහාරක යානා අටක් හඳුනාගෙන විනාශ කළ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

-------------------------

‍පෙ.ව. 10.55

පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා ඉරානය තුළ අවම වශයෙන් පුද්ගලයින් 3,220ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් ළමුන් 210ක් ඇතුළුව සිවිල් වැසියන් 1,398ක් ද, හමුදා නිලධාරීන් 1,165ක් ද මියගොස් ඇත. 

කෙසේ වෙතත්, ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල දත්තවලට අනුව, ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු මියගොස් ඇති අතර 18,551 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

--------------------------

‍පෙ.ව. 10.45

සිරියාවේ හමුදා යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ නින්දිත ආක්‍රමණය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය බලවත්ම විරෝධය ප්‍රකාශ කර තිබේ.

X සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රකාශයක් නිකුත් කරමින් සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය චෝදනා කළේ, ඊශ්‍රායලය "ජාත්‍යන්තර නීතිය සහ සිරියාවේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති" බවය.

-------------------------

‍පෙ.ව. 10.25

ලෙබනනයේ බීරූට් නුවරට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, තම හමුදාවන් මේ වන විට ඉරාන අගනුවර වන ටෙහෙරානයට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.

-------------------------

‍පෙ.ව. 10.05

අමෙරිකානු -ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති සීමා කිරීම් මධ්‍යයේ, ජපාන නෞකාවල ගමනාගමනයට පහසුකම් සැලසීමට ටෙහෙරානය සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසා ඇත.

ජපානය වැනි රටවල් ටෙහෙරානය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන්නේ නම්, ඔවුන්ගේ නෞකාවල ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීමට ඉරානය සූදානම් බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-----------------------------

‍පෙ.ව. 9.30

ඉන්දීය සාගරයේ ඇති ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙසින් සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියාගෝ ගාර්ෂියා කඳවුරට ඉරානය අතරමැදි දුර බැලස්ටික් මිසයිල 2ක් එල්ලකර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් අමෙරිකානු සහ මහා බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පවතින මෙම හමුදා කඳවුරට ඉන් බලපෑමක් සිදුනොවූ බව අමෙරිකාව පවසා තිබේ.

------------------------------

‍පෙ.ව. 7.15

ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බව පවසන ජනාධිපති ට්‍රම්ප් , හමුදා මෙහෙයුම් අවසන් කර යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව පවසයි.

------------------------------

පෙ.ව. 6.30 

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.