දකුණු මුහුදෙන් ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 654ක් තිබිලා

දකුණු මුහුදෙන් ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 654ක් තිබිලා

March 13, 2026   08:20 am

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී සිය භාරයට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සොයාගත් බව පොලීසිය විසින් අනාවරණය කර තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග ධීවර යාත්‍රාව ඊයේ (12) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායෙන් ගොඩබිමට රැගෙන ආවේය. 

මෙහි සිදුකළ මූලික විමර්ශනයේ දී ආයුධ තොගය ඇතුළුව කිලෝග්‍රෑම් 600කට අධික අයිස් හා හෙරොයින් අඩංගු මත්ද්‍රව්‍ය උර 48ක් සොයාගැනීමට හැකිවිය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ මත්ද්‍රව්‍ය උර තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් තිබී ඇත.

ඉන් කිලෝග්‍රෑම් 478ක් අයිස් බවත්, ඉතිරි කිලෝග්‍රෑම් 176 හෙරෙයින් බවත් පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10කට අධික බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය තොගයට අමතරව පිස්තෝල වර්ගයේ ගිනිඅවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 වර්ගයේ ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් සොයාගත් අතර, එය මහ මුහුදේදි නාවික හමුදාව සිය භාරයට ගත් වැඩිම ගිනිඅවි තොගයද විය.

සිද්ධියට අදාළව සැකකරුවන් 10 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටියි.