යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 13, 2026   05:41 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (13) දින 14ක් ගතව තිබේ.

============================

-------------------

Update | 11.35 AM 

තුර්කියේ ගිනිකොනදිග අදානා නගරය අසල පිහිටි තුර්කි ඉන්සර්ලික් ගුවන් කඳවුරේ සයිරන් හඬක් නිකුත් වී තිබේ.

අමෙරිකානු හමුදා සඳහා සත්කාරකත්වය සපයන ප්‍රධාන නේටෝ පහසුකමක් වන ගුවන් කඳවුරේ සයිරන් හඬ එරට වේලාවෙන් අලුයම 3:25ට පමණ මිනිත්තු පහක් පමණ පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

-------------------

Update | 11.10 AM 

මොජ්තාබා කමේනි නිසැකවම ජීවතුන් අතර සිටින බව තමන් විශ්වාස කරන බව  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ Fox News මාධ්‍ය වෙත දුරකතන සංවාදයක් ලබාදෙමින්ය.

එහිදී ට්‍රම්ප් සඳහන් කළේ, “ඔහු ජීවතුන් අතර සිටිනවා. හැබැයි ඔහු තුවාල ලබා ඇති බවට හිතෙනවා. නමුත් මොනව විදිහකට හරි ඔහු තවමත් ජීවතුන් අතර සිටිනවා කියලා මං හිතනවා,” යනුවෙනි.
-------------------

Update | 10.45 AM 

ගෝලීය ඉන්ධන මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ අගයක් වාර්තා වන අතර බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා තිබුණි.

දෛනිකව ඉන්ධන බැරල් මිලියන 200ක් වෙළෙඳපොළ වෙත පැමිණෙන හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය ගත් පියවර හේතුවෙන් ඉන්ධන මිල ඉහළයාම සලකා සම්බාධකවලට ලක්වූ රුසියානු ඉන්ධන මිලදී ගැනීමට මෙතෙක් පැවති බාධා දින 30ක සහන කාලයක් සඳහා ඉවත්කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

ඒ යටතේ සම්බාධකවලට ලක්ව මුහුදේ කොටුව ඇති ඉරාන තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන මිලදීගැනීමට ගෝලීය රටවලට අවස්ථාව හිමිවෙයි.

-------------------

Update | 10.30 AM 
යුද්ධය ආරම්භ වූ පසු පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටි බෙන්ජමින් නෙතෙන්යාහු, ඉරාන හි නව නායකයා ඉලක්ක කර දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඔහු ප්‍රකාශ කළේ, කලාපයේ තත්ත්වය පෙර තිබූ ආකාරයට නොමැති බවත් ඊශ්‍රායල සහ අමෙරිකානු අතර සබඳතාවය දැඩි ලෙස ශක්තිමත් වී ඇති බවත්ය.

“ඉරානය තවදුරටත් පැවති ඉරානය නොවේ. මේ පැවති මැදපෙරදිග නොවේ. මේ පැවති ඊශ්‍රායලයද නොවේ. අපි අමෙරිකාව සමඟ පෙර නොවූ සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා. අපේ හොඳම මිතුරාජනාධිපති ට්‍රම්ප් අපි නිතර කතා කරමින් එකට තීරණ ගන්නවා,” යනුවෙන් ඔහු පැවසීය.

නෙතන්යාහු තවදුරටත් සඳහන් කළේ, “අපි හිටපු ඒකාධිපති අල් කමේනි ඝාතනය කළා. අලුත් ඒකාධිපතියා විප්ලවීය හමුදාවේ රූකඩයක්. ඔහුට තමන්ගේ මුහුණ පෙන්වන්නවත් බැහැ,” යනුවෙනි.

එමෙන්ම “ත්‍රස්තවාදී කණ්ඩායම් නායකයන්ගේ ජීවිත අපට සහතික කළ නොහැක. ඊළඟට අපි සැලසුම් කරන්නේ කුමක්ද යන්න දැන් කියන්න මම සූදානම් නැහැ,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

-------------------

Update | 10.01 AM 

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් බලශක්ති අර්බුදය මධ්‍යයේ අවදානමට ලක්විය හැකි නිවාස සඳහා බලශක්ති වවුචර් ලබා දීමේ සැලසුම් දකුණු කොරියාව සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

එරට කර්මාන්ත අමාත්‍යවරයා මේ පිළිබඳව නිවේදනයක්  කර ඇත.

කර්මාන්ත අමාත්‍ය කිම් ජුන්ග්-ක්වාන් සිකුරාදා පැවසුවේ ඉහළ යන බලශක්ති මිල ගණන්වල බර අවම කිරීම සඳහා රජය “අවශ්‍ය සියලු පියවර ගන්නා” බවයි.

-------------------

Update | 09.30 AM 

පවතින තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියානු රජය විසින් හදිසි ඉන්ධන තොගයෙන් ඉන්ධන නිකුත් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම තොගයෙන් දින 6කට ප්‍රමාණවත් වන පරදි පෙට්‍රල් සහ දින 5කට ප්‍රමාණවක් වන පරිදි  ඩීසල් ලබා දීමට සූදානම් බව නිවේදනය කළේය.

-------------------

Update | 09.00 AM 

හිස්බුල්ලා "ක්‍රියාකාරී" යෙකු ඉලක්ක කර ගනිමින් ලෙබනන් අගනුවරට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පැවසයි.

එම ප්‍රහාරය සාර්ථක වූවාද නැතහොත් නගරයේ කුමන ප්‍රදේශයකට එය දියත් කළේද යන්න පිළිබඳව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ නැත.

-------------------

Update | 08.10 AM 

ඉරාකයේ Erbil කලාපයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ප්‍රංශ සොල්දාදුවෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කළේය.

-------------------

Update | 07.40 AM 

පසුගිය පැය කිහිපය තුළ සෞදි අරාබියේ නැගෙනහිර කලාපය ඉලක්ක කර එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාර 10ක් ගුවන් ආරක්ෂණ පද්ධති මගින් බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශයේ  ප්‍රකාශකයෙකු පවසයි.

ඔහු සඳහන් කළේ සෞදි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ගුවන් ආරක්ෂණ පද්ධති මෙම ඩ්‍රෝන් සියල්ල සාර්ථකව විනාශ කර ඇති බවය.

මෙම ප්‍රහාරය කවුරුන්ද සිදු කළේද යන්න පිළිබඳව තවමත් නිල තහවුරු කිරීමක් නිකුත් වී නොමැති බවද වාර්තා වේ.

-------------------

Update | 07.00 AM 

ඉරානයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් සඳහා යොදාගත් අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්ව තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 'Boeing KC-135 Stratotanker' වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් බව අමෙරිකානු හමුදාව තහවුරු කර ඇත.

කෙසේ නමුත් මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල  වූ ප්‍රහාරයක් (friendly fire) නොවන බවත්, ඉන්ධන පිරවීමේදී ඇති වූ සිදුවීමක් බවත් සඳහන් කර තිබේ.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා (CENTCOM) පවසන්නේ බටහිර ඉරාකයේ සිදුවූ මෙම අනතුරෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවය.

මේ අතර එම සිද්ධියට සම්බන්ධ වූ දෙවැනි ගුවන් යානය මේ වනවිට ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

-------------------

Update | 06.50 AM 

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති 'එපික් ෆියුරි' මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ප්‍රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ ‍යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවය.

එමෙන්ම ප්‍රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

-------------------

Update | 06.30 AM 

රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එළැඹෙන අප්‍රේල් 11 වනදා දක්වා මුහුදේ ඇති යාත්‍රාවල පටවා ඇති රුසියානු තෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට සිය රට අවසර ලබාදුන් බවය.

ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ  ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

-------------------

Update | 06.15 AM 

කටාර් එයාර්වේස් ගුවන් සමාගම යුධමය තත්ත්වය මධ්‍යයේ සිය මෙහෙයුම් ක්‍රමයෙන් නැවත ආරම්භ කරමින්, මාර්තු 13 සිට මාර්තු 17 දක්වා අතරතුර අවම වශයෙන් ගුවන් ගමන් 143ක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබේ.

කටාර් හි ගුවන් අවකාශය නිල වශයෙන් වසා ඇති නමුත්, පසුගිය සති අන්තයේ සිට කටාර් ජාතික ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

-------------------

Update | 05.45 AM 

ඉරාකයේ එර්බිල් කලාපයේ සිදු වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ප්‍රංශ හමුදා සෙබළු හයදෙනෙකු තුවාල ලබා ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ හමුදාව සඳහන් කරන්නේ, තුවාල ලැබූ සෙබළුන් අසල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙන බවයි.