උතුරු කොරියාව කෲස් මිසයිලයක් අත්හදා බලයි
March 11, 2026 04:39 pm
අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වනු ලබන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන්, උතුරු කොරියාව ද කෲස් මිසයිලයක් අත්හදාබැලීමක් සිදුකර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සිය දියණිය ද සමඟින් යුද නෞකාවක සිට දියත් කළ එම කෲස් මිසයිල අත්හදාබැලීම නිරීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
'චෝ හ්යොන්' Choe Hyon නැමති, නාවික විනාශක නෞකාවේ සිට මෙම මිසයිල දියත් කර ඇති අතර, කිම් ජොන්ග් උන් සහ ඔහුගේ දියණිය පාලන මැදිරියක සිට තිරයක් හරහා එම දර්ශන නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන ඡායාරූප උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) විසින් ප්‍රසිද්ධ කර ඇත.
අමෙහි විශේෂත්වය වන්නේ කිම් ජොන්ග් උන්ගේ 13 හැවිරිදි වියේ පසුවන කිම් ජූ ඒ Kim Ju Ae නැමති දියණිය මෙම අවස්ථාවට සහභාගී වීමය.
2022 වසරේ අගභාගයේ සිට ඇය සිය පියා සමඟ ප්‍රමුඛ පෙළේ හමුදා පෙළපාලි සහ ආයුද අත්හදා බැලීම් සඳහා නිරන්තරයෙන් සහභාගී වේ. දකුණු කොරියානු බුද්ධි අංශ පවසන්නේ කිම් ජොන්ග් උන් සිය දියණිය තම අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමට සූදානම් වන බවය.
පසුගිය සඳුදා ආරම්භ වූ දින 11 ක Freedom Shield නමින් හැඳින්වෙන අමෙරිකා - දකුණු කොරියානු යුද අභ්‍යාසය උතුරු කොරියාව දකින්නේ තමන්ගේ රට ආක්‍රමණය කිරීම සඳහා කෙරෙන පෙර පුහුණුවක් ලෙසය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිම් ජොන්ග් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් ප්‍රකාශ කර ඇත්තේ, මෙම අභ්‍යාස හරහා අමෙරිකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාව කෙරෙහි දක්වන දැඩි වෛරය යළිත් හෙළි වන බවය.
සතුරන් මර්දනය කිරීම සඳහා තමන් සතු න්‍යෂ්ටික බලය ශක්තිමත්ව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ද කිම් ජොන්ග් උන් මෙහිදී අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
