හදිසියේම ඉහළ ගිය බොරතෙල් මිල - G7 තීරණයෙන් අස්වැසිල්ලක් ?
March 9, 2026 06:36 pm
*සිව්වසරකට පසු වැඩිම බොරතෙල් මිල...
මැදපෙරදිග කලාපයේ ඇවිලී යන යුද ගිනි දැල් හමුවේ ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වසර හතරකට පසු එනම් 2022 වසරෙන් පසු ඉහළම අගය සටහන් කරමින් බොරතෙල් බැරලයකයක් ඩොලර් 119.50 දක්වා අද (09) දිනයේදී ඉහළ ගියේය.
එබැවින්, තෙල් මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය 'IEA' සතු බැරල් බිලියන 1.2ක සමස්ත තෙල් සංචිතවලින් බැරල් මිලියන 400ක් පමණ එනම් 25% - 35%ක ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදාහැරීම පිළිබඳව G7 රටවල මුදල් අමාත්‍යවරුන් අද හදිසි සාකච්ඡාවක නිරත වීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබේ.
එම සාකච්ඡා මගින් ලබා ගන්නා විසදුම් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාම පාලනය සඳහා ලබා ගන්නා ක්ෂණික විසඳුමක් ලෙස සැළකේ.
මෙය වාර්තා වී පැය කිහිපයක් තුළ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් සහ WTI බොරතෙල් මිල යම් මට්ටමකින් පහළයාමේ තත්ත්වයක් නිරීක්ෂණය විය.
කෙසේවෙතත් තවදුරටත් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ට ආසන්න මට්ටමේ පවති.
මේ අතර, දැනටමත් අමෙරිකාව ඇතුළු G7 රටවල් තුනක් මෙම සංචිත මුදාහැරීමට කැමැත්ත පළ කර ඇති බව සඳහන් වේ.

යුරෝපා සංගමය ද එළැඹෙන බ්‍රහස්පතින්දා රැස්වී තම බලශක්ති සැපයුම පිළිබඳව සමාලෝචනයක් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
*ලෝක කොටස් වෙළෙඳපොළට කළ බලපෑම...
තෙල් මිල ඉහළ යාමත් සමඟ ලොව පුරා කොටස් වෙළෙඳපොළවල් ද දැඩි ලෙස කඩා වැටී තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ FTSE 100 දර්ශකය 1.9% කින්ද, ජර්මනියේ Dax දර්ශකය 1%කින් ද පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම ජපානයේ Nikkei දර්ශකය 5.2% කින් සහ දකුණු කොරියාවේ Kospi දර්ශකය 6% කින් පහත වැටි ඇත.
යුරෝපා වෙළෙඳපොළවල්ද 2.5% ක පසුබෑමක් පෙන්වන බව සඳහන් වේ.
*තෙල් මිලට බලපෑ දේශපාලන අර්බුදය....
අමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන පහකට පමණ හානි සිදුව ඇති අතර, "තෙල් බැරලයක් ඩොලර් 200 ඉක්මවා යාම දරාගත හැකි නම් මේ සෙල්ලම දිගටම කරගෙන යන්න" යැයි ඉරාන විප්ලවීය හමුදාව අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ලෝක සාමය වෙනුවෙන් මෙම තෙල් මිල ඉහළ යාම "සුළු පිරිවැයක්" ලෙස තමන් සලකන බවය.
එනමුත් අමෙරිකාව තුළ ද ඉන්ධන මිල පසුගිය සතියේ පමණක් 11%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
1974 වසරේ ඇති වූ තෙල් අර්බුදයෙන් පසු ලෝකය මුහුණදෙන දරුණුතම බලශක්ති අර්බුදය මෙය විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.
නවතම තෙල් මිල ඉහළ යාමට බලපා ඇති කාරණයක් වන්නේ ඉරානයේ මීළඟ නායකයා ලෙස දැඩි මතධාරී මොජ්තබා කමේනි පත්කිරීමය.
එමඟින් යුද්ධය තවදුරටත් දිග්ගැස්සීමේ අවදානම තෙල් මිල ඉහළ යාමට බලපා ඇති බව වාර්තා වේ.
*යුද්ධයට මැදි වූ හෝමුස්...
හෝමුස් සමුද්‍ර සන්ධිය සතියක සිට වසා දමා තිබීම හේතුවෙන් ලෝක තෙල් සැපයුමෙන් 20%කට බාධා පැමිණ තිබේ.
ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන මෙම මුහුදු මාර්ගයේ ගමනාගමනය යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇත.
සමුද්‍ර සන්ධියේ එක් අන්තයක් පමණක් තම පාලනය යටතේ පැවතුණත් ඉරානය මේ වන විට ඒ හරහා නෞකා ගමනාගමනය මුළුමනින්ම පාහේ නතර කිරීමට සමත්ව තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා 10කට ඉරාන ප්‍රහාර එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා යාත්‍රාවලට ආරක්ෂාව සැපයීමට ජනපති ට්‍රම්ප් පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටුවී නැත.
මෙම නෞකා මාර්ගය අවහිරවීම හේතුවෙන් ඉරාකය සහ කුවේටයත් මේ වන විට ඔවුන්ගේ තෙල් නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
නිපදවන තෙල් නෞකාවලට පිරවුවත් ඒවාට ඉරානයෙන් ඇති තර්ජන හමුවේ පර්සියානු බොක්කෙන් පිටතට යාමට නොහැකි වීම ඊට හේතු වී ඇත.
ඊට පෙර කටාරය ඔවුන්ගේ LNG නිෂ්පාදන ද නතර කළේ ඉරාන ප්‍රහාර සහ මෙලෙස මුහුදු මාර්ගය අවහිරවීම හේතුවෙනි.
එමෙන්ම බහරේනයේ අල් - මාමීර් තෙල් නිෂ්පාදන සංකීර්ණයට එල්ලවූ ප්‍රහාරයක් හෙතුවෙන් එහි තෙල් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සිදුවූ බව බහරේන රාජ්‍ය තෙල් සමාගම 'බැප්කෝ' නිවේදනය කර තිබුණි.
විශ්ලේෂකයන් පවසන ආකාරයට තෙල් ගබඩා පිරී ඉතිරීයාම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබියත් නුදුරේදීම ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය කප්පාදු කෙරෙතැයි සඳහන් වේ.
*තෙල් මිල ගැන පුරෝකථනය...
මේ මොහොතේ යුද්ධය අවසන් වූවත්, තවත් සති කිහිපයක් හෝ ඇතැම් විට මාස කිහිපයක් යනතුරු තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බවට පුරෝකථනය පළ වේ.
තෙල් නිෂ්පාදන යටිතල පහසුකම් වලට යුද්ධයෙන් සිදුවූ හානි, සේවා සැපයුම් අඩාල වීම වගේම නෞකා ප්‍රවාහන අවදානම ඉහළ යාම ඊට හේතු වේ.
මෙලෙස තෙල් මිල ඉහළ යාමට පෙර පසුගිය සතිය තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් 27% කිනුත්, WTI බොරතෙල් 35.6 කිනුත් ඉහළ ගොස් තිබුණි.
මේ අතර මාර්තු මාසය අගභාගය වනවිට ඉන්ධන බැරලයක මිල ඩොලර් 150ක් දක්වා ඉහළ යනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පුරෝකථනය කර තිබේ.


