සංරක්ෂණය කළ නැඳුන්ගමුවේ රාජා එළැඹෙන 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට

සංරක්ෂණය කළ නැඳුන්ගමුවේ රාජා එළැඹෙන 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට

March 9, 2026   02:50 pm

2005 වසරේ සිට උතුම් දළදා වහන්සේ වැඩමකරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය එළැඹෙන 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සනුජා කස්තුරිආරච්චි මහත්මිය පැවසුවේ ඒ අනුව එළැඹෙන 11 වැනි දින සිට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී ප්‍රතිනිර්මාණය කරන ලද මෙම හස්තියාගේ රුව නැරඹීමේ හැකියාව පවතින බවය.

අද (09) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය මේ බව සඳහන් කළේය.

එමෙන්ම මෙම අවස්ථාවට එක්වූ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මනෝරි ගුණතිලක මහත්මිය පැවසුවේ චර්ම ශිල්පී ක්‍රමවේදය අනුව සංරක්ෂණය කළ සත්වයෙක් වසර 500ක් දක්වා කාලයක් තබා ගත හැකි බවත් ඒ අනුව ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ හස්තියාද එම කාලය දක්වා තබා ගත හැකි අයුරින් කෞතුකාගාර දෙපාර්තමෙන්තුව අදාළ ප්‍රතිනිර්මාණ කටයුතු සිදුකළ බවය.

ප්‍රතිනිර්මාණය කළ මෙම නැඳුන්ගමුවේ රාජා සඳහා වැය වූ මුදල් ප්‍රමාණය ගැන අදහස් දක්වමින් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මහත්මිය පැවසුවේ මෙම කටයුතු සඳහා ලක්ෂ 70කට ආසන්න මුදලක් වියදම් වූ බවත් ඉන් වැඩිම මුදලක් වියදම් වූයේ සංරක්ෂණය කළ ඇතා තබා ගැනීම සඳහා සැකසූ විශේෂිත වීදුරු කුටීරයට බවය.

ඒ අනුව එම කුටීරය සඳහා මිලියන 16කට ආසන්න මුදලක් වියදම් වූ බවද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළාය. 

සංරක්ෂණය කළ නැඳුන්ගමුවේ රාජා සහ ඉදිරි කටයුතු පිළිබඳව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය,

"අපේ මූලිකම වගකීම තමයි උරුම සංරක්ෂණය. උරුම සංරක්ෂණ කාර්යයේදී එවැනි උරුම සංරක්ෂණය කරලා මතු පරපුරට දැකගන්න සලස්වන්න අපි විසින් සම්පාදනය කරනවා. ඒ අනුව 2022 මිය ගිහින් නමුත් ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු නැදුන්ගමුව විජය රාජා හස්තියා සංරක්ෂණය කරලා මතු පරපුරට දැක බලා ගන්න සැලැස්වීමේ වගකීම පැවරුණෙත් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට. ඒ අවස්ථාවේදී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේත් ඉල්ලීම සහ මේ භාරකාරීත්වය පැවරිලා තිබුණු හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාරතුමාත් කැමැත්ත අනුව ඇතාගේ සිරුර ඇතා මියගිය දිනයේම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාර කෙරුණා සංරක්ෂණය කිරීම සඳහා.

නැදුන්ගමුවේ රාජා කියන්නේ බොහොම ජනාදරයට පත්වෙච්ච හස්තියෙක්. මේ හස්තියාගේ ප්‍රතිනිර්මාණය කරන එක දැවැන්ත අභියෝගයක් වුණා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට. හරියටම ජීවත්ව ඉන්න කෙනෙක්ගේ ආලේඛ්‍ය සිතුවමක් කරනවා වගේ ඉතාම නිවැරදිව කරන්න ඕනේ. මොකද මේ හැමෝම හස්තියාගේ සියලූම ස්වරූප දන්න නිසා. ඉතිං මේ අතිශයින් වැදගත් වගකීම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව භාර ගත්තා. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුව සහ ප්‍රදර්ශන සැලසුම් අංශය තමයි මේ කාර්යයේ නිරත වුණේ. සත්ත්ව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ චර්ම ශිල්පී චමල්කා කොතලාවල මහත්මිය, රවීන්ද්‍ර වික්‍රමනායක මහතා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය, චර්ම ශිල්පී ඒකකයේ කණ්ඩායමත්, එල්. ආර් විජේපාල, එල්. පී. මහින්ද ඇතුළු මහත්වරුන්ගෙන් සමන්විත ප්‍රදර්ශන සැලසුම් අංශයත් කියන ඒකක දෙක තමයි මේ භාරදූර  වගකීම ඉශ්ඨ කරන්න කැපවුණේ.,

ශ්‍රි දළදා මාලිගාවේ කරඬුව දීර්ඝ කාලයක සිට වැඩම කළ මෙම හස්තිරාජයා පසුගිය 2022 වසරේ මාර්තු මස 07 වැනි දින මිය ගියේය.

හස්තියා මිය යන විට අවුරුදු 69ක් වූ අතර රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසය.

ජාතික උරුමයක් ලෙසද නම් කෙරුණු මෙම හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද යෝජනා වූ අතර ඒ සඳහා එම වසරේ කැබිනට් අනුමැතියද හිමිවිය.