හොරණදී හඳුනාගත් දෝෂ සහිත වාහන 15කට තහනම් නියෝග
March 9, 2026 12:37 pm
හොරණ පොලිස් වසම තුළ සිදුකළ වාහන පරීක්ෂාවකදී හඳුනාගත් දෝෂ සහිත වාහන පහළොවක් සඳහා තහනම් නියෝග නිකුත් කිරීමට කටයුතුකළ බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම වාහන පරීක්ෂාවේදී රථ වාහන සම්බන්ධ වෙනත් වැරදි ඇති පුද්ගලයන් 35 දෙනෙකු සඳහා හොරණ පොලීසිය විසින් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
මේ අතර පරීක්ෂාවේදී රථ වාහන 107ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර පහන් සහ සංඥා පද්ධතියේ අඩුපාඩු ,තිරිංග පද්ධතියේ අඩුපාඩු,ආරක්ෂිත හිස්වැසුම් නොමැති වීම,පැති කන්නාඩිවල අඩුපාඩු ඇති රථවාහන සඳහා මෙසේ නඩු පැවරීම සිදුකර ඇත.
රිය අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවක් වන දෝෂ සහිත වාහන හඳුනා ගෙන හොරණ පොලිස් වසම තුළ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම රථවාහන පරීක්ෂාව සිදුකර තිබේ.
