G7 හදිසි තීරණයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

G7 හදිසි තීරණයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

March 9, 2026   12:21 pm

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම හේතුවෙන්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී පවතින මිල ඉහළ යාමට පිළියමක් ලෙස හදිසි ඉන්ධන සංචිත මුදාහැරීමේ යෝජනාවකට එකඟවීම සඳහා ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවද සඳහන්ය.

අමෙරිකාව මෙම යෝජනාව සඳහා දැනටමත් සහයෝගය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපදය, G7 රටවලට අයත් වේ.

මෙවන් පසුබිමක G7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් කැඳවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 117.65 සිට ඩොලර් 104 දක්වා පහළ වැටී ඇති බව වාර්තා වේ.

පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නිරන්තරයෙන් උච්චාවචනය වෙමින් පවතී.