විදුලිබල මණ්ඩලය වෙනුවට පිහිටවූ නව සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කෙරේ

විදුලිබල මණ්ඩලය වෙනුවට පිහිටවූ නව සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කෙරේ

March 8, 2026   03:15 pm

අහෝසි කෙරෙන ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙට පිහිටුවනු ලැබූ විදුලිබල මණ්ඩලයේ සමාගම් 6න් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කර තිබේ.

ඒ අනුව ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම සඳහා ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න මහතාද, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ මහතා සහ විදුලි බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර මහතා  ද පත් කර තිබේ.

මෙම පත් කිරීම් පසුගිය 06 වැනි දින සිදුකර ඇති නමුත් විදුලිබල මණ්ඩල සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම සඳහා මෙතෙක් නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කර නොමැති බවත් සඳහන් වේ.

මේ අතර විදුලිබල මණ්ඩලය යටතේ එහි සේවකයින් පිහිටුවා තිබූ වෘත්තිය සමිති සියල්ලද අද මැදියම් රැයේ සිට අවලංගු වේ.

ඒ අද මැදියම් රැයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු අවසන් වීමත් සමගය.

ඒ අනුව අදාළ වෘත්තිය සමිති සියල්ල අහෝසි වන අතර නව සේවා යෝජකයන් යටතේ නව වෘත්තිය සමිති ලියාපදිංචි කර පිහිටුවා ගැනීමටද අදාළ වෘත්තිය සමිති වෙත සිදුවේ.

විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ වන විට එම මණ්ඩලයේ වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් තම සේවා යෝජකයින් යටතේ නව වෘත්තිය සමිති ලියාපදිංචි කර පිහිටුවීමට පියවර ගනිමින් සිටින බවය.