ලෝකයේ මනුෂ්‍යත්වය ඉහළින්ම තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම අපේක්ෂාවයි -ජනපති

ලෝකයේ මනුෂ්‍යත්වය ඉහළින්ම තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම අපේක්ෂාවයි -ජනපති

March 8, 2026   01:44 pm

ලෝකයේ මනුෂ්‍යත්වයේ ඉහළින්ම තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (08) කොළඹ දී පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එකවෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ ඇතිවෙන ඕනෑම යුද්ධයකදී මනුෂ්‍යත්වයේ කොඩිය ඉදිරියට ගත් ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය යන පණිවුඩය ලෝකයට ගෙනියන බවය.

ලෝකයේ දියුණු රටවල් කොතෙක් තිබුණත්, ලංකාව කුමන ආර්ථික ගැටලුවලට මුහුණදුන්න ද මනුෂ්‍යත්වයෙන් පිරි ජනතාවක් ජීවත වන එකම රට ශ්‍රී ලංකාව යන සංනාමය ලෝකයට ගෙන යන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම සියලු ජනතාවට බේදයකින් තොරව, සහකම්පනයෙන් සලකන රාජ්‍යයක් බවට පත්කිරීමේ දී මෙරට දරුවන් සහ කාන්තාවන් වැදගත් ස්ථානයක් හිමිවන බවත් NPP කාන්තාවන් ඒ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් තමා ස්තූතිය පළ කරන බවත් කාන්තා දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.

"මම හිතනවා අපි ආණ්ඩුව හදනකොට සුවිශේෂි කාර්යයක් මෙතන ඉන්න සහෝදරියෝ විසින් ඉටුකළා. ඒ වගේම මෑත ඉතිහාසයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් එක තැනකට එක්වුණ පළමු අවස්ථාව මෙයයි...මා හිතනවා ආණ්ඩුවක් සහ පාලනය හොඳද කියලා මනින්න තියෙන හොඳම නිර්ණායකය තමා ඒ රටේ කාන්තාව මොනතරම් ප්‍රමාණයකින් ආණ්ඩුවත් එක්ක ඉන්නවාද කියන සාධකය. අද මේ පෙන්නුම් කරන්නේ අපේ පාලනය පිළිබඳව, අපේ ආණ්ඩුකරණය පිළිබඳව මේ රටේ තියෙන පොදු විශ්වාසයේ සංකේතයක් ලෙස ඔබ දහස් ගණනක් මේ අවස්ථාවට එක්වෙලා ඔප්පු කරලා තියෙනවා.  

අපේ අභිප්‍රාය කුමක් ද ? දුක, වේදනාව විශාල බරක් තමන්ගේ හිස මත, තමන්‌ගේ හදවත තුළ දරාගෙන ඉකිගසන ගැහැණුන් හැමදෙනාටම සිනාමුසු අනාගතයක් නිර්මාණය කිරීමට අපි වැඩකරමින් ඉන්නවා...අපේ අනාගතය නිර්මාණය කළ හැකි වන්නේ සමස්තයක් ලෙස රට, ජාතියක් ලෙස අපි ඉහළට එසවෙන්නේ කෙසේ ද ? යන සමස්ත වැඩපිළිවෙල තුළ කාන්තාවන්ට අනන්‍යවූ ප්‍රශ්න, ඇය ඇයවීම නිසා මුහුණදෙන ගැටලු පිළිබඳව අපි අවධානය යොමු කරමින් අපි අවධානය යොමු කරමින් සැලසුම් සකස් කර තිබෙනවා."

අද වනවිට මත්ද්‍රව්‍ය විසින් තාරුණ්‍ය ගිල ගනිමින් සිටින බවත් එය මව්වරුන්ට භීතියට පත්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, තම දරුවා මත්ද්‍රව්‍යයට ගොදුරු වීම මවට වේදනාවක් ගෙන දෙන බවත්, නෑදැයන් තුළත් ගම තුළත් දරුවා කොන්වීම තුළ මව්වරු අසරණ කරන නිසාවෙන් රජය විසින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව දියත් කරන බවත් මත්ද්‍රව්‍ය ව්‍යවසනය සම්පූර්යෙන්ම අවසන් කරන බවත් පැවසීය.

මව්වරුන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුව තම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවද සඳහන් කර සිටි ජනාධිපතිවරය‍ා, මව්වරුන් තුළ දරුවාගේ අධ්‍යාපනයේ බර නිදහස් කරන බවද පැවසීය.

ලබන වසරේ දී 6 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවද පැවසු ජනාධිපතිවරයා, සහකම්පනයක් ඇති දරුවෙකු බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කරන බවද කියා සිටියේය.

මේ අතර, කාන්තාවන් සඳහා ණය ගැනීමට දේපොළ නොමැති නම් ඒ සඳහා අවශ්‍ය සහතිකය ආණ්ඩුව ලබාදීමට හැකි වන පරිදි වැඩසටහනක් සකස් කරන බවද ණය ගෙවීමට කාන්තාවන්ට නොහැකි වුවහොත් එය රජය විසින් ගෙවා දමන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය පොලිය හේතුවෙන් ගම්වල විශාල කාන්තාවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද පැවසු ජනාධිපතිවරයා, ග්‍රාමීය කාන්තාව මේ ණය උගුලේ ගොදුරු බවට පත්ව ඇතැයි ද කියා සිටියේය.

එයින් කාන්තාවන් මුදා ගැනීම සඳහා නීති සම්පාදනය කරන බවත් අනෙක් අතින් සාර්ථකව ව්‍යාපෘතිය අධීක්ෂණය කරමින් ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව විසින් සහන පොලියට ණය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

"විශේෂයෙන්ම කාන්තා අමාත්‍යාංශය හරහා, ආධාර වැඩසටහනක් තියෙනවා. ඇයට ණයක් කිසිසේත්ම දරාගන්න බැරි නම්, ඇයට ආර්ථික හැකියාවක් නෑ කියා ඇයව ආර්ථිකයෙන් පිටමං කළ යුතුද ? එහෙම බෑ. ආර්ථික හැකියාවක් නැති කෙනා කොහොමද අපි ආර්ථිකයේ පංගුකාරයින් කරගන්නේ කියලා මූල්‍ය ආධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරා මේ වසරේත් ලබන වසරේ එය තවත් ශක්තිමත් කරලා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා."

කාන්තා හිංසනය සමාජයේ වැඩි වී ඇති බවත් කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා තිබෙන නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

"අපි විශ්වාස කරනවා කාන්තා දිනය සමරන මොහොතේ දී දීර්ඝ කාලයක් වේදනාව, දුක හදවතට ගත්තු හිසට බරක් බවට පත්කරගත්තු, අපේ රටේ ගැහැණියට ඒ බරින් නිදහස් කරන, නව අනාගතයක් නිර්මාණය කරන අරමුණින්. අපි වැඩකරනවා." 

යම් යම් සංස්කෘතීන් නිසාවෙන් කාන්තාවන් පීඩාවට ලක්ව ඇති බවත් එවන් කාන්තාවන් නිදහස් කරගැනීමට අවශ්‍ය නව නීති සම්පාදනයට කටයුතු කරන බවද එය සංස්කෘතිය ගැටුමක් ඇති නොවන අයුරින් ජාතික ජන බලවේගය විසින් සිදුකරන බවද ජනාධිපතිවරයා, මෙහිදී කියා සිටියේය.