මැදපෙරදිග යුද්ධය පිළිබඳ  නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

March 8, 2026   09:06 am

Update - 9.46 PM

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (08) දින නවයක් ගතව තිබේ. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.

ඉරානයේ වෙසෙන සිවිල් වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසට අමෙරිකානු ආරක්ෂක අංශ අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
------------------------

Update - 8.36 PM

මැදපෙරදිග කලාපයේ අමෙරිකානු ඉලක්ක වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් "බලහත්කාරයෙන් පටවන ලද" යුද්ධයකට දක්වන ප්‍රතිචාරයක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

එමෙන්ම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා කියා ඇත්තේ, මීළඟ නායකයා කවුරුන්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඉරාන ජනතාවට පමණක් මිස වෙනත් කිසිවෙකුට නොවන බවය.

---------------------------

Update - 6.57 PM

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 394 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම මාධ්‍ය සඳහන් කළේ, මිය ගිය පිරිස අතර දරුවන් 83 දෙනෙකු සහ කාන්තාවන් 42 දෙනෙකු සිටින සිටින බවය. 

එමෙන්ම ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත වූ 09 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ. 
------------------

Update - 5.04 PM

ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයන් හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බව ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය මාටින් ෆිස්ටර් 'Martin Pfister' පවසයි.

-------------------

Update - 4.09 PM

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද තත්ත්වය දැඩි ලෙස හෙළා දුටු චීනයේ විදෙස් අමාත්‍ය වැන්ග් යි පවසා ඇත්තේ මෙම ගැටුම "කිසිසේත්ම සිදු නොවිය යුත්තක්" බවත් වහාම සටන් විරාමයක් අවශ්‍ය බවත්ය.

චීනයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුළු කලාපයම මේ වන විට "ගිනිදැල්වලට හසුව ඇති" බවය.

"මෙය කිසිදු පාර්ශවයකට වාසිදායක නොවන, සිදු නොවිය යුතුව තිබූ යුද්ධයක්," ලෙසද ඔහු අවධාරණය කර තිබේ.

-------------------------------------

Update - 4.00 PM

ඉරානයෙන් ගල්ෆ් කලාපය පුරා නව ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැල්ලක්

ඉරානය විසින් අද (8) උදෑසන සිට ගල්ෆ් කලාපය පුරා රටවලට එල්ලකරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැඩිකර තිබේ.

විදෙස් වාර්තාවන්ට අනුව ඔවුන් කුවෙට්, සෞදි අරාබිය, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට මෙලෙස ප්‍රහාර දැඩිකර ඇත.

කෙසේ වෙතත් එම රටවල් අදාළ ප්‍රහාරයන් සාර්ථකව මැඩපවත්වා ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

---------------------------

Update - 3.25 PM

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු, එම තනතුර සඳහා මීළඟට පත්වන පුද්ගලයා පිළිබඳව එරට 'විශේෂඥ මණ්ඩලය' (Assembly of Experts) මේ වන විට අවසන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ.

ඉරාන රජ්‍ය පුවත් සේවය වන 'ෆාර්ස්' (Fars) පුවත් සේවය මගින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක අදහස් දක්වමින්, එම මණ්ඩලයේ සාමාජිකයෙකු වන අයතුල්ලා මොහොමඩ් මෙහ්දි මීර්බගේරි ප්‍රකාශ කර ඇත්තේ, බහුතරයකගේ එකඟතාවය මත පදනම් වූ ස්ථිර තීරණයක් දැනටමත් ගෙන ඇති බවය.

-------------------------------------

Update - 1.33 PM

අභාවප්‍රාප්ත වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගෙන් (Ayatollah Ali Khamenei) පසුව එම ධුරයට පත්වන සෑම අනුප්‍රාප්තිකයෙකුම දිගින් දිගටම හඹා යන බවට ඊශ්‍රායල හමුදාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

"අප ඔබට පවසන්නේ, පත්වන සෑම අනුප්‍රාප්තිකයෙකුම සහ අනුප්‍රාප්තිකයෙකු පත් කිරීමට උත්සාහ කරන සෑම පුද්ගලයෙකුම හඹා යාමට ඊශ්‍රායල රාජ්‍යයේ හස්තය ක්‍රියාත්මක වන බවයි." ලෙස එහි දැක්වේ.

----------------------------------

Update - 12.52 PM

ඉරාන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර මුහාරක් නගරයේ විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලකට හානි සිදුවී ඇති බව බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

-----------------------------------

Update - 12.45 PM

ඉරානය මේ වනවිට නායකත්වයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් ඔවුන්ගේ නාවික සහ ගුවන් හමුදා සෑම අංගයක්ම විනාශ කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ මාධ්‍ය වෙත පවසා ඇත. 

-----------------------------------

Update - 11.32 AM

ලන්ඩන්, පැරිස්, මැඩ්රිඩ්, රෝමය, ෆ්‍රැන්ක්ෆර්ට් සහ බැංකොක් සිට දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා අද (08) දින ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කටාර් එයාර්වේස් සමාගම ප්‍රකාශ කර තිබුණි.

ගුවන් තොටුපළ වෙබ් අඩවියට අනුව, එම සියලුම ගුවන් ගමන් එරට වෙලාවෙන් අද උදෑසන 04:00ත් 06:00ත් අතර කාලය තුළ ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

-----------------------------------

Update - 11.11 AM

බහරේනය තුළ ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ නලා (Sirens) ක්‍රියාත්මක කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

"පුරවැසියන්ට කලබල නොවී සන්සුන්ව සිටින ලෙසත්, වහාම තමන්ට ළඟම ඇති ආරක්ෂිත ස්ථානය වෙත යන ලෙසත්"  නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ඉල්ලා සිටියේය.

--------------------------------

Update - 10.00 AM

ඉරානයේ සිට පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන යානාවලට සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් ප්‍රතිචාර දක්වමින් සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

රට තුළ ඇසෙන ශබ්ද, ගුවන් ආරක්ෂක පද්ධති මගින් එම ප්‍රහාරක මිසයිල සහ ඩ්‍රෝන යානා වටලා විනාශ කිරීමේ (intercepting) ප්‍රතිඵලයක් බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

------------------------------

Update - 09.45 AM

ඉරාන නෞකාවන් පිළිබඳ තත්ත්වය හැසිරවීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනය ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයාවරයා සඳහන් කර සිටී.

එමෙන්ම, 'IRIS Bushehr' නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ මුදාගත් ඉරාන නාවිකයන් පිළිබඳ අවසන් තීරණය ගැනීම ශ්‍රී ලංකාවේ දේශීය නීති සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකාව සතු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

----------------------------------

Update - 09.25 AM

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරනු ලබන ප්‍රහාරයන් කිසිසේත්ම සිදු විය යුත්තක් නොවන බව චීන විදේශ අමාත්‍ය වං යී පවසා ඇත. 

මෙම ප්‍රහාරයන් අවසන් කරන ලෙසත්, නැවත සාකච්ඡාවන් සදහා පැමිණෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

බීජිං නුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වං යී මෙම අදහස් පළ කළ අතර, බලය භාවිතා කිරීමෙන් පවතින අර්බුදය කිසිදා විසඳිය නොහැකි බවද ඔහු එහිදී පැවසීය.

----------------------------------------

Update - 09.15 AM

බැලැස්ටික් මිසයිල (ballistic missiles) තුනක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් වටලා විනාශ කළ බව කුවේටය පවසයි.

එමෙන්ම, කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉන්ධන ටැංකිවලට සහ එරට සමාජ ආරක්ෂණ පොදු ආයතනයේ (Public Institution for Social Security) ප්‍රධාන ගොඩනැගිල්ලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසු හටගත් ගිනි ගැනීම් දෙකක් පාලනය කර නිවා දැමීමට ගිනි නිවන භටයන් උත්සාහ කරමින් සිටින බව ද එරට බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-----------------------------------------

Update - 09.10 AM

යුධ ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයේ පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.