මාරක අනතුරු කිහිපයක් - 5දෙනෙකුට දිවි අහිමි වෙයි

මාරක අනතුරු කිහිපයක් - 5දෙනෙකුට දිවි අහිමි වෙයි

March 8, 2026   08:38 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වත්තල, කුඩගහපිටිය හන්දිය අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරින් තුවාල ලැබූ පැදිකරු රාගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම එගොඩඋයන, පානදුර මොරටුව නව මාර්ගයේ ජය මාවත අසලදී පානදුර දෙසට ධාවනය වූ යතුරුපැදික මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පදිකයා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වූ කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එගොඩඋයන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුලියන්කුලම වව්නියාව මාර්ගයේ රාමණූර් ප්‍රදේශයේදී වව්නියාව දෙසට ධාවනය වූ පාපැදියක එම දෙසටම ධාවනය වූ ‍යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් ‍යතුරුපැදියේ පසුපැදිකරු මාර්ගයෙන් ඉවතට වීසිවි බරපතළ තුවාල ලබා පුලියන්කුලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර හංවැල්ල - කොළඹ මාර්ගයේ රණාල ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් හා මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නවගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සමන්තුර ප්‍රදේශයේ දී ද සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන රියැදුරු එම රථයටම යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 40ක් වූ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

කාර්තිව් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.