මැදපෙරදිග යුද ගැටුම් නිසා දරුවන් 192ක් මිය ගිහින් - 181ක්ම ඉරාන දරුවන්
March 7, 2026 03:05 pm
ඉරානයේ හමුදා කණ්ඩායම් රැසකට මේ වනවිට සාර්ථකව ප්‍රහාර එල්ලකර අවසන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවූයේ හමුදා ශක්තීන් අතින් අමෙරිකාව ඉරානයට වඩා ඉතා ප්‍රබල තත්ත්වයක පසුවන බවය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ඉකුත් සති අන්තයේදී ප්‍රහාර මාලාවක් දියත් කළේ සමස්ත මැදපෙරදිග කලාපයම නොසන්සුන් කරමිනි.
වසර 40කට ආසන්න කාලයක් අයෝමය හස්තයකින් ඉරානය පාලනය කළ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ද ඇතුළුව 1332 දෙදෙනෙක් එරටට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින්, මේ වනවිටත් මියගොස් අවසන් ය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර, අමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කළ පරිදි ගෙවුණු පැය 72 අතරතුර එල්ල කළ ඇති ප්‍රහාර ගණන 200කට අධිකය.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරට දිගින් දිගටම එල්ලවන ප්‍රහාර හේතුවෙන් රාත්‍රි කාලයේ පවා නගරය පුරා විශාල දුම් පිටවෙමින් පවතින බව වාර්තා වෙයි.
ඉරානයේ මර්මස්ථාන කිහිපයක් ප්‍රහාරයට ලක්වීමට පෙර සහ පසු නිරූපනය වන චන්ද්‍රිකා ඡායාරූප ද මේ වනවිට නිකුත් වී තිබේ.
මෙලෙස එල්ල වූ ප්‍රහාර අතරින් එක් ප්‍රහාරයක් ඉරානයේ මිනාබ්හි ෂාජාරේ ටයෙබේ ප්‍රාථමික පාසලටත් එල්ල වූ අතර ඉන් එහි සිසුවියන් 168 දෙනෙකු මරුමුවට පත්වුණි.
ප්‍රහාරයෙන් දිවි බේරාගත් සිසුවියක් ප්‍රහාරයෙන් මියගිය සිය වයස අවුරුදු 11ක සහෝදරයාගේ වියෝව පිළිබඳ සංවේදී වූ අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
"මගේ පියා සෑමවිටම පුරුදුවෙලා හිටියා පාසල අවසන්වන සීනුව නාදවන විට මාව රැගෙන යන්න එන්න. එදාත් ඔහු එළියේ සිටියා. එක්වරම පිපිරීමක් සිද්ධ වෙද්දී මගේ පියා දිව්වා අම්මාව බේරගන්න. එතකොටම තවත් පිපිරීමක් සිදුවුණා. ඔහු මියගියා."
"මමත් බය වෙලා පන්ති කාමරයකට ගියා, ඊට පස්සේ මම සිහිසුන් වුණා. මගේ පිටේ ලොකු ගලක් වැටිලා තිබුණා. මට සිහිය ආවාම බොහෝම අමාරුවෙන් එළියට ආවේ. මගේ සහෝදරයා, පවුලේ අය නැතිවුණා. මට ඒ් අයව ගොඩාක් මතක් වෙනවා."
යුනිසෙෆ් සංවිධානය X අවකාශයේ සටහනක් තබමින් පවසන්නේ මැදපෙරදිග කලාපයේ යුදගැටුම් හේතුවෙන් ආසන්න වශයෙන් දරුවන් 192ක් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය.
එම පිරිස අතුරින් දරුවන් 181 දෙනෙකුම ඉරාන ජාතික දරුවන් ය.
මියගිය දරුවන් 7 දෙනෙකු ලෙබනන් ජාතික දරුවන් වන අතර, තිදෙනෙක් ඊශ්‍රායල ජාතිකයින් බවත්, එක් දරුවෙකු කුවෙට් රාජ්‍යයේ දරුවෙකු බවටත් තොරතුරු වාර්තා වෙයි.
මෙවන් පසුබිමක අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරින් වාර්තා කරන්නේ ඔවුන් සාර්ථකව ඉරාන ඉලක්ක 3,000කට පමණ ප්‍රහාර එල්ල කළ බවය.
ඉරාන නෞකා 43කට ආසන්න ප්‍රමාණයකටත් හානි සිදුකළ බව එම නිලධාරින් පවසයි.
මීට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානයත් දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අතර එලෙස එල්ල වන මිසයිල ඊශ්‍රායලයේ ටෙල්අවීව් සහ ජෙරුසලම ඉලක්ක කර තිබුණි.
මෙලෙස ඊශ්‍රායලයට එල්ල වන මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා එරට වැසියන්ට අනතුරු අඟවන සයිරන් නාද නිරන්තරයෙන් නාද වන බවද වාර්තා වෙයි.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් පවසන්නේ ඉරාන හමුදාවට යටත්වීමට තවමත් අවස්ථාව ඇති බවය.
මේ අතර මැදපෙරදිග යුද්ධයට විරෝධය පළකරමින් විරෝධතාකරුවන් පිරිසක් අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි වොෂින්ටන් චත්‍රරස්‍රයට රැස්ව ඇති අතර එහිදී විරෝධතාකරුවන් අතර ගැටුමක් හටගෙන ඇති අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
