මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

March 7, 2026   12:15 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (07) දින අටක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර  මැදපෙරදිග අමෙරිකානු හමුදා මූලස්ථාන පිහිටා ඇති ස්ථානවලට ඉරානය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි. 

Update | 10.35 PM | යුද ගැටුම් නිසා ලෙබනනයේ පුද්ගලයන් 294ක් මරුට

යුද ගැටුම් හේතුවෙන් ලෙබනනය තුළ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 294 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් පුද්ගලයන් 1,023 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 

-------------------------------------------

Update | 10.01 PM | ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගනීවිද?

ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගැනීමට ඉඩ ඇති බව ඉරානයේ උත්තම නායකයා (Supreme Leader) තෝරා පත් කර ගන්නා මණ්ඩලයේ සාමාජිකයෙකු උපුටා දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ Fars පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන විශේෂඥ මණ්ඩලයේ (Assembly of Experts) සාමාජිකයෙකු වන හොසේන් මොසාෆරි (Hossein Mozzafari), මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර විවිධ අනුමාන කිරීම්වලින් වැළකී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව Fars පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත.
-----------------------------------------

Update | 9.37 PM | කටාර් රාජ්‍යයට එල්ල වූ 'මිසයිල ප්‍රහාරයක්' එරට හමුදාව මැඩපවත්වයි

කටාර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් එල්ල වූ "මිසයිල ප්‍රහාරයක්" සාර්ථකව මැඩපැවැත්වූ (intercepted) බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
--------------------------------------

Update | 9.30 PM | ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ වීම ගැන ඉරාන තානාපතිගෙන් බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක්

ඉරානයට එල්ල කෙරෙන ප්‍රහාරවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉරාන තානාපති සෙයිඩ් අලි මූසාවි, එක්සත් රාජධානියට අනතුරු ඇඟවීමක් කර ඇත.

-------------------------------------

Update | 9.25 PM | බහරේනයේ ජුෆෙයාර්හි අමෙරිකානු කඳවුරක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක්

බහරේනයේ ජුෆෙයාර් (Juffair) හි පිහිටි අමෙරිකානු කඳවුරක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.

මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ, ඉරානයේ කෙෂ්ම් (Qeshm) දූපතේ පිහිටි ලවණ ඉවත් කිරීමේ (desalination) බලාගාරයකට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස බව ද වාර්තා වේ.

එම ප්‍රහාරය හේතුවෙන් ගම්මාන 30ක පමණ ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ද ඉරාන විදේශ අමාත්‍ය අරග්චි මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ අතර බහරේන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 'X' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එරට පුරා ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා (air raid sirens) නාද වෙමින් පවතින බවයි. 

කලබල නොවී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එම අමාත්‍යාංශය වැසියන්ගෙන් ඉල්ලා සිටී.

------------------------------------

Update | 8.46 PM | ඉරානයට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව ලන්ඩනයේ දැවැන්ත විරෝධතාවක්

ඉරානයට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් ලන්ඩන් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දෙසට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බොහෝ පිරිසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් සටන් පාඨ කියමින් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයේ නිරතවන බව සඳහන් වේ. 

කෙසේවෙතත් මෙහි සංවිධායකයන් පවසන්නේ මෙය ඉරාන පාලන තන්ත්‍රයට සහය දැක්වීම සඳහා පවත්වන විරෝධතාවක් නොවන බවය.

ඒ වෙනුවට, ඔවුන් පවසන්නේ මෙය "නීති විරෝධීව හා අසාධාරණව" සිදු කරන ක්‍රියාවන් නතර කරන ලෙස කරන ඉල්ලීමක් පමණක් වන බවය.

--------------------------------------

Update | 8.15 PM |ඉරානයේ නාවික යාත්‍රා 42ක් විනාශ කළා බව ට්‍රම්ප් කියයි

ඉරානය තුළ අමෙරිකානු මෙහෙයුම් ඉතා සාර්ථකව සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පසුගිය දින තුන ඇතුළත ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 42ක් විනාශ කර දැමූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙන්ම එරට ගුවන් හමුදාව සහ විදුලි සංදේශ පද්ධති ද අඩපණ කිරීමට අමෙරිකාව සමත් වූ බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර සිටී.

---------------------------------------

Update | 6.52 PM | ප්‍රහාරක ස්ථානවල දර්ශන බෙදාහරින්නන්ට එරෙහිව ඉරානයෙන් දැඩි පියවර

අමෙරිකාව සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් හානියට පත් ස්ථානවල ඡායාරූප හෝ වීඩියෝ දර්ශන බෙදාහරින ඕනෑම අයෙකුට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කරන බව ඉරාන බුද්ධි අමාත්‍යාංශය අනතුරු අඟවයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ප්‍රහාරයට ලක්වූ ප්‍රදේශ ඡායාරූපගත කර එම දර්ශන "ත්‍රස්තවාදී චන්ද්‍රිකා ජාල, virtual pages සහ සතුරු මාධ්‍ය ආයතන" වෙත යවන පුද්ගලයන් ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින "කුලී හේවායන්" (mercenaries) වන බවය.

එවැනි "ඊශ්‍රායල සෙබළුන්ගේ" ක්‍රියාකලාපයන් නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව නඩු පවරන බව ද එම අමාත්‍යාංශය පවසයි. 

තවද, එවැනි ඕනෑම ක්‍රියාකාරකමක් පිළිබඳව වාර්තා කරන ලෙස ද එරට බුද්ධි අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

------------------------------------

Update | 6.46 PM | ඉරානය, ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කරයි

ඉරානයෙන්, ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල වෙමින් පවතින බව ඊශ්‍රායල හමුදාව හඳුනාගෙන තිබේ.

"එල්ල වී ඇති තර්ජනය මැඩපැවැත්වීම (intercept) සඳහා ගුවන් ආරක්ෂක පද්ධති මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා," යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක බලකාය පවසයි. 

එමෙන්ම, ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස උපදෙස් දෙමින් ප්‍රදේශවාසීන්ගේ ජංගම දුරකථන වෙත හදිසි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.

----------------------------------

Update | 6.11 PM | දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායල හමුදාවෙන් ඉවත් වීමේ නියෝග

ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) දකුණු ලෙබනනයට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට මීට සුළු මොහොතකට පෙර, අනතුරු ඇඟවා තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක බලකායේ ප්‍රකාශක අවිචේ අද්‍රායි (Avichay Adraee) විසින් X (ට්විටර්) ජාලයේ පළ කරන ලද සටහනක, ප්‍රහාරයට ලක්විය හැකි ප්‍රදේශ දැක්වෙන සිතියමක් ඉදිරිපත් කර ඇති අතර, එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස දන්වා ඇත.

හිස්බුල්ලා සංවිධානය භාවිතා කරන ගොඩනැගිලි එම ප්‍රදේශවල පිහිටා ඇති බව ද ඊශ්‍රායල ආරක්ෂක බලකාය පවසයි.

---------------------------------------

Update | 6.03 PM | ඊශ්‍රායල හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා පවසයි

ඊශ්‍රායලයේ සෆෙඩ් (Safed) නගරයට ඊසාන දෙසින් පිහිටි ඩැඩෝ (Dado) හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් එරට වේලාවෙන් දහවල් 13:00ට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ බීරූට් නුවර දකුණු තදාසන්න ප්‍රදේශ ඇතුළු ලෙබනනයේ නගර සහ ගම්මාන රැසකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බවය.

-----------------------------------------

Update | 5.20 PM | ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් යළි ඇරඹෙයි

අද දිනය තුළ එල්ල වූ බැලැස්ටික් මිසයිල 15ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 119ක් සාර්ථකව විනාශ කර දැමීමට තමන් සමත් වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කරයි.

එරට ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ගුවන් ආරක්ෂක පද්ධති මගින් බැලැස්ටික් මිසයිල 16ක් හඳුනාගෙන ඇති අතර ඉන් 15ක් විනාශ කර ඇත. 

එමෙන්ම, හඳුනාගත් ඩ්‍රෝන යානා 121ක් අතරින් 119ක් විනාශ කිරීමට හැකි වූ බවත්, යානා දෙකක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය භූමිය තුළට පතිත වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.

-------------------------------------------

Update | 5.00 PM | ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් යළි ඇරඹෙයි

ඉරානයට අද (07) දින‍ය තුළ දී ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවා තිබේ.

ඉරාන ජනාධිපතිවරයා මීට පෙර කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානය "තම මැදපෙරදිග අසල්වැසියන්ගෙන් සමාව අයැද යටත් වී ඇති බවත්, මින් ඉදිරියට ඔවුන්ට වෙඩි නොතබන බවට පොරොන්දු වී ඇති බවත්" ය. එමෙන්ම, "මෙම පොරොන්දුව ලබා දුන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ නොපසුබස්නා ප්‍රහාර හේතුවෙන් පමණක්" බවත් එහිදී ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ඉරානය තම අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කර නොමැති අතර, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවට ද වාර්තා වේ. 

සිය සටහන අවසානයේ ට්‍රම්ප් මෙසේ පවසයි "අද දින ඉරානයට ඉතා දරුණු ලෙස පහර දෙනු ඇත!"

"මෙතෙක් කල් ඉලක්ක කිරීමට සලකා නොබැලූ ප්‍රදේශ සහ පුද්ගල කණ්ඩායම්, සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සහ ස්ථිර මරණය ළඟා කරවීම සඳහා මේ වන විට දැඩි ලෙස සලකා බලමින් පවතින" බව ද ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.

------------------------------------

Update | 4.47 PM | ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් යළි ඇරඹෙයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇතැම් ගුවන් යානා ගොඩබැස්වීම සහ පිටත්වීම ආරම්භ වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් මීට පෙර කිසිදු හේතුවක් ප්‍රකාශ නොකර ගුවන් තොටුපළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. 

කෙසේ වෙතත්, ඩුබායි රජයේ මාධ්‍ය අංශයේ නිල X (ට්විටර්) ගිණුම මගින් සෙනසුරාදා දින ගුවන් තොටුපළේ කිසිදු අනතුරක් සිදු නොවූ බවට ප්‍රකාශ කර තිබේ.

“ප්‍රහාරයක් මැඩපැවැත්වීමෙන් පසු ඇද වැටුණු සුන්බුන් හේතුවෙන් සුළු සිදුවීමක් වාර්තා වූ අතර, එය සාර්ථකව පාලනය කිරීමට බලධාරීන් සමත් විය. කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැත. ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අනතුරු සිදුවූ බවට සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා බලධාරීන් ප්‍රතික්ෂේප කර සිටියි.” ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත.

කෙසේවෙතත් ගුවන් ගමන් ආරම්භ වී ඇතත්, ඇතැම් ගුවන් යානා පිටත්වීම ප්‍රමාද වී තිබේ. 

එරට වේලාවෙන් උදෑසන 07:00 ට ලන්ඩන් හීත්‍රෝ බලා පිටත්වීමට නියමිතව තිබූ එමිරේට්ස් EK001 ගුවන් යානය, පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව මේ වන විට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

-------------------------------------------

Update | 4.15 PM | මැදපෙරදිග විදේශීය තෙල් සමාගම් ඉරාකයේ සේවකයින් ඉවත් කිරීම ආරම්භ කරයි

මැදපෙරදිග ක්‍රියාත්මක වන විදේශීය තෙල් සමාගම්, ඉරාකයේ තෙල් නිධිවල සේවය කරන තම කාර්ය මණ්ඩලය ඉවත් කිරීම ආරම්භ කර ඇත.

සේවකයින් ඉරාකයේ සෆ්වාන් (Safwan) දේශ සීමාව හරහා කුවේට් රාජ්‍යයට ඇතුළු වන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක්ද මාධ්‍ය වෙත නිකුත් වී ඇත. 

අමෙරිකානු තෙල් සමාගමක් වන හැලිබර්ටන් (Halliburton) හි ආරක්ෂක නිලධාරියෙකු වන මොහොමඩ් තාමේ (Mohamed Ta'meh) පවසා ඇත්තේ, "ඉරාකයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් තෙල් මධ්‍යස්ථානවල සේවය කළ විදේශීය සේවකයින් කුවේට් රාජ්‍යය බලා පිටත්ව ගිය බවත්, එතැන් සිට ඔවුන් ඉදිරියේදී යා යුතු ස්ථානය තීරණය කරනු ඇති" බවත්ය.

----------------------------------------------

Update | 4.10 PM | ලෙබනනයේ හිස්බුල්ලා හැකියාවන් තවදුරටත් අඩපණ කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි

ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) පවසන්නේ තමන් ලෙබනනයේ හිස්බුල්ලා (Hezbollah) සංවිධානයේ යුධමය හැකියාවන් දිගින් දිගටම අඩපණ කරමින් සිටින බවය.

ඊශ්‍රායල හමුදාව සිය ටෙලිග්‍රෑම් (Telegram) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ රාත්‍රියේ දකුණු ලෙබනනයේ සහ බෙකා (Beqaa) නිම්නයේ පිහිටි රොකට් විදින යන්ත්‍ර, අවි ගබඩා සහ තවත් යුධ මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් සාර්ථක ප්‍රහාර මාලාවක් දියත් කළ බවය.

එමෙන්ම හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභූ කොමාන්ඩෝ ඒකකය වන රෙඩ්වාන් බලකායේ (Radwan Force) අණදෙන නිලධාරීන්ට ප්‍රහාර එල්ල වූ බවත්, දකුණු ලෙබනනයේ මජ්ඩාල් සෙල් (Majdal Sel) ප්‍රදේශයේ පිහිටි රෙඩ්වාන් අණදෙන මධ්‍යස්ථාන දෙකකට ද ප්‍රහාර එල්ල කළ බවත් IDF පවසයි.

මෙම ප්‍රහාරයට පෙර "සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමට පියවර ගත්" බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටී.

------------------------------------

Update | 4.00 PM | එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් දෆ්රා ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කළ බව IRGC පවසයි

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් දෆ්රා (Al Dhafra) ගුවන් කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන රජයට අයත් තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, මෙම ප්‍රහාරයෙන් අල් දෆ්රා කඳවුරේ ස්ථාපනය කර තිබූ ඇමරිකානු චන්ද්‍රිකා සන්නිවේදන මධ්‍යස්ථානයක්, පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධති (early warning radars) සහ ප්‍රහාරක පාලන රේඩාර් පද්ධති (fire control radars) වෙත හානි සිදු වී ඇත.

------------------------------------------

Update | 3.50 PM | ලෙබනනයේ නබි චිට් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයේ (Bekaa Valley) පිහිටි නබි චිට් (Nabi Chit) ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

-----------------------------------

Update | 3.35 PM | බහරේන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

බහරේන් සිවිල් ගුවන් සේවා අධිකාරිය (BCAA) විසින් එරට ගුවන් සීමාව (Airspace) වසා දැමීමට ගත් තීරණයත් සමඟ බහරේන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) සියලුම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

---------------------------------

Update | 3.20 PM |ඉරානයේ සන්නිවේදන පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙයි

ඉරානයේ උත්තරීතර නායකයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කර ගනිමින් පෙබරවාරි 28 වැනිදා එල්ල වූ ප්‍රහාරවලින් පසු, එරට සන්නිවේදන පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව වාර්තා වේ. 

ඒ අනුව දින 8ක් පුරා මෙලෙස අන්තර්ජාල සේවාවන් බිඳ වැටී ඇත.

NetBlocks ආයතනයේ දත්ත අනුව මෙය වසර ගණනාවකට පසු එරට සිදුවූ දරුණුතම අන්තර්ජාල ඇනහිටීමයි.

-------------------------------------

Update | 3.11 PM | කටාර් එයාර්වේස්, දෝහා වෙත සීමිත ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි

හෙට දින ලන්ඩන්, පැරිස්, මැඩ්රිඩ්, රෝමය, ෆ්‍රැන්ක්ෆර්ට් සහ බැංකොක් සිට දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කටාර් එයාර්වේස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
------------------------------------

Update | 2.40 PM | සෞදි හමුදා බැලස්ටික් මිසයිල දෙකක් විනාශ කරයි

සෞදි හමුදා, ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර ඉලක්ක කරගත් බැලස්ටික් මිසයිල දෙකක් විනාශ කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබේ.

-----------------------------
Update | 2.22 PM | ටෙහෙරාන් සහ ඉස්ෆහාන් වෙත ප්‍රහාර මාලාවක්

ටෙහෙරාන් සහ ඉස්ෆහාන් වෙත ප්‍රහාර රැල්ලක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත.

------------------------------------

Update | 2.14 PM | ගල්ෆ් කලාපයේ තෙල් නැවකට පහර දුන් බව ඉරානය පවසයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් නැවක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසයි.

-----------------------------------

Update | 2.03 PM | ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් අර්ධ වශයෙන් නැවත අරඹයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් අර්ධ වශයෙන් නැවත ආරම්භ කළ බව ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවසයි.

''කාලසටහන් වෙනස් වෙමින් පවතින බැවින්, ඔබගේ ගුවන් ගමන තහවුරු කර ඇති බවට ඔබගේ ගුවන් සමාගම ඔබව සම්බන්ධ කර නොගන්නේ නම්, කරුණාකර ගුවන් තොටුපළට ගමන් නොකරන්න'' ලෙසද එහි වැඩිදුරටත් සඳහන් වේ.

----------------------------------

Update |1.30 PM | අසල්වැසි රටවලට එල්ලකළ ප්‍රහාරවලට ඉරාන ජනපති සමාව අයදී

අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව සිදුකළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපීය රටවලට එල්ලකළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එම රටවලින් සමාව අයැද තිබේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් විකාශය කරමින් ඔහු මේ බව පවසා ඇත.

අසල්වැසි රටවල්වලට ප්‍රහාර එල්ලකිරීමට සිට රටට අවශ්‍යතාවක් නොමැති බවත්, සාමය සහ සන්සුන්භාවය ස්ථාපිත කිරීම කලාපීය සහයෝගීතාව ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.

ඉරානයට එරෙහි ප්‍රහාරයක් අසල්වැසි රටවලින් එල්ල නොවන්නේ නම්, සිය රටද කලාපීය රටවලට පහර නොදෙන බවටත් මෙහිදී ඔහු පවසා ඇත.

"මෙතැන් සිට, පළමුව පහර නොදුන්නහොත් අසල්වැසි රටවලට පහර නොදෙන්න" යනුවෙන් ඉරාන අන්තර්කාලීන නායකත්ව තීරණයක් ගෙන ඇති බවත් පෙසෙක්ෂියන් පවසයි.

Update |1.15 PM | ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම මෙහෙයුම් අත්හිටුවයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියළුම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මගීන්ගේ, ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ .

-------------------------------------------

Update |11.00AM | ඩුබායි ගුවන්තොටුපොළට ඉහළින් පිපිරීමක්

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ පිපිරීමෙන් පසුව ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවය.
---------------------------------

Update |10.10AM | කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි

සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍ය පියවරගෙන තිබේ.

ඒ අනුව යුද්ධය ආරම්භ වී සතියකට පසු පළමුවරට සීමිත ගුවන්ගමන් සංඛ්‍යාවක් නැවත ආරම්භ කරන බව ඔවුන් පවසයි.

කෙසේ නමුත් එරට ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මෙලෙස ගුවන් කලාපය විවෘත වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සඳහා පමණක් බවය.

---------------------------------

Update |09.20AM | ජෝර්දානයේ අක්බා නගරයට ඉහළින් මිසයිල ප්‍රහාර කිහිපයක් මැඩපවත්වයි

ජෝර්දානයේ අක්බා නගරයට ඉහළින් ගමන්කළ මිසයිල ප්‍රහාර කිහිපයක් මැඩපැවැත්වීමට එරට ආරක්ෂක අංශ සමත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම මිසයිල දෙක අක්බා නගරයට ඉහළින් ගමන් කරමින් තිබියදී අතරමගදී විනාශ කර ඇත. 

---------------------------------

Update |08.20AM | ඉරානයේ මෙහ්රාබාද් ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක්

ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙසින් සැලකෙන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එරට වේලාවෙන් අද (7) අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව බී.බී.සී. ප්‍රවෘත්ති සේවය පවසයි.

---------------------------------
Update|04.20AM | දකුණු ඉරාකයේ තෙල් පිරිපහදු සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

දකුණු ඉරාකයේ බස්රාහි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට එල්ල වූ බව කියන ඩ්‍රෝන ප්‍රහාරයකින් අනතුරුව එම ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

---------------------------------
Update |04.05AM | ඉරාන ජාතිකයන් 1,332ක් මිය ගිහින් 

පසුගිය සෙනසුරාදා සිට එල්ලවූ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 1,332 ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති අමීර් සයීඩ් ඉරාවානි පවසයි.

---------------------------------
Update|03.40AM | සෞදි අරාබියට ආරක්ෂාවදීමට සූදානම් බව බ්‍රිතාන්‍යය කියයි

අවශ්‍ය වුවහොත් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට එක්සත් රාජධානිය සූදානම් බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි.

---------------------------------

Update|12.21AM | ටෙහෙරාන් නගරයේ අසාඩි කුළුණ අසළ පිපිරීමක් 

ඉරාන ටෙහෙරාන් නගරයේ පිහිටා ඇති 'අසාඩි කුළුණ' අසළ පිපිරීමක් සිදුව ඇත. මෙම කුළුණ එම නගරයේ වඩාත් සුප්‍රසිද්ධ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. එය ජාතික සැමරුම් සහ පෙළපාලි වැනි වැදගත් සිදුවීම් සඳහා පසුබිමක් ලෙස භාවිතා කරයි. කුළුණ මීටර් 50ක් උස වන අතර නගරයේ බටහිර දෙසින්, ගුවන් තොටුපළකට ඉතා ආසන්නව පිහිටා ඇත.

---------------------

Update|12.12AM | බ්‍රිතාන්‍ය හෙලිකොප්ටර් යානා සයිප්‍රසයට 

සයිප්‍රසයේ ආරක්ෂාව තර කිරීමේ අරමුණින්, බ්‍රිතාන්‍යයට අයත් වයිල්ඩ්කැට් හෙලිකොප්ටර් යානා දෙකක් පැමිණ ඇත. 

ඒ, එරටට එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් පවසා ඇති පසුබිමකය.