ජාත්‍යන්තර මුහුදේ මෙරට ධීවර යාත්‍රාවලට තර්ජනයක් නැහැ - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

ජාත්‍යන්තර මුහුදේ මෙරට ධීවර යාත්‍රාවලට තර්ජනයක් නැහැ - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

March 5, 2026   06:49 pm

ගල්ෆ් කලාපය ආසන්නයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, දැනට බහුදින ධීවර යාත්‍රා 2000ත් 2500ත් අතර ප්‍රමාණයක් ඉන්දියන් සාගරය ඇතුළු ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපයේ (EEZ) දෛනිකව ධීවර කටයුතුවල නිරතව සිටින බවය.

පවතින තත්ත්වය හේතුවෙන් මෙරට කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් සෘජු බලපෑමක් එල්ල වී නොමැති බවත්, මෙම යුධමය ක්‍රියාකාරකම් නිශ්චිත ඉලක්ක පදනම් කරගෙන සිදුවන බැවින් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවලට සෘජු තර්ජනයක් නොමැති බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත්, ධීවර යාත්‍රා සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පහත ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

  • සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් ධීවර කටයුතුවල නිරත වීම.
  • යුද කටයුතුවලට සම්බන්ධ බවට සැක කෙරෙන හෝ ආගන්තුක නෞකා ආසන්නයට නොයාම.
  • පිටත්ව යාමේදී සහ ආපසු පැමිණීමේදී සුපුරුදු ගමන් මාර්ග භාවිතා කිරීම.
  • ධීවර කටයුතු නිමවූ වහාම ගොඩබිමට පැමිණීම.

හදිසි අවස්ථාවකදී සහාය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන Colombo Maritime Rescue Coordination Centre මධ්‍යස්ථානය ඇතුළු සම්බන්ධතා මධ්‍යස්ථාන පැය 24 පුරා ක්‍රියාත්මකව පවතින බවද සඳහන් වේ.

ධීවරයින්ට Colombo MRCC මධ්‍යස්ථානය සමඟ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින් පහත සංඛ්‍යාත ඔස්සේ සම්බන්ධ විය හැකි බවද දැනුම් දී ඇත.

  • 6215.00 kHz
  • 8291.00 kHz
  • 4225.00 kHz

මෙම උපදෙස් දැඩිව පිළිපදිමින් සැලකිලිමත්ව ධීවර කටයුතුවල නිරත වන ලෙස සියලුම බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් සහ ධීවර කාර්මිකයින්ගෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.