යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 5, 2026   06:33 am

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 6ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.

Update - 00.10 AM

පසුගිය සති කිහිපය තුළ සයිප්‍රසයට අමතර එක්සත් රාජධානියේ හමුදා සෙබළුන් 400ක් යොදවා ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

Update - 11.20 PM

ලෙබනනයේ බෙකා නිම්නය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් වන බව ඊශ්‍රායල පවසා තිබේ.

ඒ හේතුවෙන්  එහි පදිංචි සිවිල් වැසියන්ට වහාම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස නිවේදනය කර ඇත.
----------------------

Update - 11.00 PM

බහරේනයේ ප්‍රධාන තෙල් පිරිපහදුවකට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ඇති වූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් පාලනයට ගෙන ඇති බව එරට බලධාරීන් පවසයි.

----------------------

Update - 10.00 PM

ඉරානය විසින් යුද්ධය ආරම්භ වූ දින සිට ඩ්‍රෝන 2,000කට අධික ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

----------------------

Update - 9.30 PM

ඉරානයේ උත්තරීතර නායකයාගේ මරණයෙන් අනතුරුව එරට නව නායකයා තෝරා ගැනීමේ ක්‍රියාවලියට අමෙරිකාව සම්බන්ධ විය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍යයක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ සහභාගීත්වයකින් තොරව නව නායකයෙකු පත් කිරීමට උත්සාහ කිරීම ඉරානය “කාලය නාස්ති කිරීමක්” බවය.

----------------------

Update - 9.00 PM

ඉරාන හමුදාව පවසන්නේ අද දින උදෑසන ඩ්‍රෝන යානා 7ක් බිම හෙළා දැමීමට තම ගුවන් ආරක්ෂක පද්ධති සමත් වූ බවය.

හමුදා ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරාන හමුදාව සහ Islamic Revolutionary Guard Corps එකමුතුව ක්‍රියාත්මක වූ මෙහෙයුම් අතරතුර මෙම ඩ්‍රෝන විනාශ කළ බවය.

----------------------

Update - 8.52 PM

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් අබුඩාබි අහස ගුවන් ආරක්ෂක මිසයිලවලින් ආලෝකමත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අවම වශයෙන් ඩ්‍රෝන යානා 131ක් සහ බැලස්ටික් මිසයිල 6ක් එල්ල කර තිබේ.

----------------------

Update - 8.30 PM

අතිරේක Typhoon (ටයිෆූන්) ප්‍රහාරක යානා 04ක් කටාර් රාජ්‍යය වෙත පිටත් කර හරින බව රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය රජය මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව තරකරමින් සිටින අවස්ථාවකදීය. එහිදී අගමැතිවරයා සඳහන් කළේ, ආරක්ෂාව සඳහා නිවැරදි සැලසුමක් බ්‍රිතාන්‍යයට ඇති බවය.

----------------------

Update - 8.10 PM

ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කර ගත් අමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර 13ක් එල්ල කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

එම ප්‍රහාර හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

----------------------

Update - 7.39 PM

අසර්බයිජානයට අයත් නක්චිවන් (Nakhchivan) ප්‍රදේශයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය තුර්කි විදේශ අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දැක තිබේ.

----------------------

Update - 7.20 PM

ඉරානයේ බටහිර දෙසින් පියාසර කළ ඩ්‍රෝන යානයකට ඉරාන හමුදාව වෙඩි තබා ඇති බවට වාර්තා වෙයි.

------------------------

Update - 7.17 PM

ඊශ්‍රායල හමුදාවලට හිස්බුල්ලා සංවිධානයෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා වෙයි.

දකුණු ලෙබනනයේ  මර්කබා (Markaba) නගරය දෙසට එමින් සිටි ඊශ්‍රායල හමුදා කණ්ඩායමකට තමන් මිසයිල ප්‍රහාර එල්ලකළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

----------------------

Update - 7.10 PM

උතුරු ඉරාකයේ  අර්බිල් (Erbil) ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු  හමුදාව රැඳී සිටින කඳවුරකට තමන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව පවසයි.

-----------------------

Update - 6.55 PM
ඉරානයේ පොළොව යට ඇති මිසයිල මධ්‍යස්ථාන විනාශ කිරීමට ඊශ්‍රායලය සැරසෙන බවට වාර්තා වෙයි.

යුද්ධයේ දෙවන අදියර ලෙස ඉරානයේ ඉතා ගැඹුරු භූගත බංකර්වල සඟවා ඇති බැලැස්ටික් මිසයිල සහ ඒවායේ උපකරණ විනාශ කිරීමට ඊශ්‍රායල ප්‍රහාරක යානා සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

------------------

Update - 6.16 PM

ඉරාන අර්බුදය මාස ගණනාවක් පැවතිය හැකි බවට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

බ්‍රිතාන්‍යයේ මැදපෙරදිග කටයුතු පිළිබඳ අමාත්‍ය හැමිෂ් ෆෝල්කනර් (Hamish Falconer) එරට පාර්ලිමේන්තුවේදී මෙසේ පවසා ඇත.

දැනට පවතින ඉරාන අර්බුදය දින කිහිපයකින් අවසන් වන්නක් නොව, එය සති ගණනාවක් හෝ ඇතැම් විට මාස ගණනාවක්  පුරා ඇදී යා හැකි බවට සලකුණු පෙනෙන්නට තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
--------------------------

Update - 6.06 PM

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කරන මෙහෙයුම් හමුවේ, ප්‍රංශයේ පිහිටි ඇතැම් හමුදා කඳවුරුවල අමෙරිකානු ගුවන් යානාවලට තාවකාලිකව රැඳී සිටීමට ප්‍රංශ රජය අවසර දී ඇත.
------------------

Update - 6.01 PM

කුවේට් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් තමන් තවත් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඉරානය පවසා තිබේ.

---------------------

Update - 5.56 PM

ඉරානයේ ටෙහෙරාන් අගනුවරට නිරිත දෙසින් පිහිටි පරන්ඩ් (Parand) නගරයේ පාසල් දෙකකට අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ලකළ මිසයිල පතිත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරයන්ගෙන් පාසල් තුළ පන්ති කාමරවලට සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී ඇති අතර, ඒ අසල පිහිටි නිවාස කිහිපයකට ද හානි සිදුවී ඇති බවට වාර්තාවන්හි සඳහන් වෙයි.

-----------------------

Update - 5.47 PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ (EU) රටවල් නිහඬව සිටියහොත්, ඒ සඳහා "වැඩි කල් නොගොස් වන්දියක් ගෙවීමට" ඔවුන්ට සිදුවනු ඇති බවට ඉරානය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

------------------------

Update - 5.21 PM
ඉරානයේ ජාත්‍යන්තර පාපන්දු තරග පවත්වනු ලබන ප්‍රධාන ක්‍රීඩාංගණය වන අසාදි (Azadi) ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරවලින් ක්‍රීඩාංගණයට දැඩි හානි සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

----------------------

Update - 5.07 PM

ටෙහෙරාන් නුවර ප්‍රේක්ෂකයින් 12,000කට අසුන්ගත හැකි දැවැන්ත ක්‍රීඩාංගණයකටද ප්‍රහාර එල්ල වී ඇති අතර, එයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවර පුරා ප්‍රබල පිපිරීම් රැසක් සිදුවූ අතර, විශේෂයෙන්ම පොලිස් ස්ථාන සහ රජයේ ගොඩනැගිලි ඉලක්ක කර ප්‍රහාර එල්ල වී තිබේ.

-------------------

Update - 4.57 PM

දකුණු ලෙබනනයේ නගර දෙකකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ.

දකුණු ලෙබනනයේ පිහිටි හරූෆ් (Harouf) සහ ක්ෆාර් රුම්මාන් (Kfar Rumman) යන නගර දෙක ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

-----------------------

Update - 4.56 PM

ඉරානයේ මරණ සංඛ්‍යාව 1,230 දක්වා ඉහළ යයි

පසුගිය සෙනසුරාදා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,230 දක්වා ඉහළ ගොස් ඇත.

---------------------------

Update - 4.54 PM

ඉරාන දේශසීමාවට ඇතුළු වූ විදේශීය ඩ්‍රෝන යානයක් ඉරාන ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන එය විනාශ කර දමා ඇති  බවට විදෙස් වාර්තා පවසයි.

-----------------

Update - 4.46 PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය හිතාමතාම සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් චෝදනා කරන බවන ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මායිල් බාකේ (Esmaeil Baqaei) පවසා තිබේ.

--------------------

Update - 4.38 PM

කුවේටය , බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල පිහිටා ඇති අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන 20කට තමන් දැඩි හානි සිදුකළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි.

-------------------

Update - 4.30 PM

ඉරානය යුරෝපයට තර්ජනයක් වීමට "ඉතා ආසන්න" මට්ටමක පවතින බව නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූටේ (Mark Rutte) ප්‍රකාශ කර ඇත.

ටෙහෙරානයේ  න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් විනාශ කිරීමට අ‍ෙ රිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පියවර තමන් අනුමත කරන බව ඔහු පවසා තිබේ.
---------------------

Update - 4.20 PM

පසුගිය සඳුදා සිට ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 77 දෙනෙකු මියගොස් තවත් 527 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද දිනයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වෙයි.

-------------------

Update - 3.35 PM

නැගෙනහිර ලෙබනනයේ සහ්ලේ (Zahle) නගරය අසල මහාමාර්ගයක ගමන්කළ මෝටර් රථයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි. 

----------------------

Update - 2.48 PM

කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයට ඉහළ අහසේ විශාල පිපිරීම් ශබ්ද කිහිපයක් ඇසෙමින් පවතින බව වාර්තා වේ.

-------------------

Update - 2.34 PM

ඉරානයේ අන්තර්ජාල විසන්ධිවී පැය 120ක් ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

----------------------

Update - 1.23 PM

ඉරානය විසින් කලාපය පුරා එල්ල කරන මිසයිල ප්‍රහාර මාලාවත් සමඟ කටාර් සහ බහරේන් යන රටවලින් ද විශාල පිපිරුම් හඬවල් ඇසෙන බව විදෙස් වාර්තා පවසයි.

---------------------

Update - 12.23 PM

දකුණු ඊශ්‍රායලයේ ජෝර්දාන දේශසීමාව අසල ප්‍රදේශ කිහිපයක අනතුරු ඇඟවීමේ සයිරන් ශබ්ද නිකුත් වී ඇති බවට විදෙස් වාර්තා තොරතුරු ඉදිරිපත් කරයි.

-------------------

Update - 12.00 PM

ඊශ්‍රායලය විසින් ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

------------------

Update - 11.50 AM

ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් සහ ඒ අසල පිහිටි නගරවල ප්‍රබල පිපිරුම් කිහිපයක් සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.

-----------------

Update - 11.45 AM

ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ බේරූට් නගරයට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කර අවසන් කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත.

හිස්බුල්ලා සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ලකළ බව සඳහන් වෙයි.
-----------------

Update - 11.43 AM

දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නැවතත් අනතුරු ඇඟවීමක් කර තිබේ. 

දකුණු ලෙබනනයේ සිටින ජනතාවට වහාම ලිටානි (Litani) ගඟෙන් උතුරු ප්‍රදේශයට පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නැවතත් දන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

-----------------
Update - 11.33 AM

ලෙබනනයේ බෙඩ්ඩාවි (Beddawi) ප්‍රදේශයේ පිහිටි පලස්තීන සරණාගත කඳවුරක නිවසක් ඉලක්කකර ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් මගින් අලුයම් කාලයේදී ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වසීම් අතල්ලා අල්-අලි (Wassim Atallah al-Ali) සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
---------------------

Update - 11.25 AM

ඉරානයේ අගනුවර වන ටෙහෙරානය (Tehran) පුරා රජයට අයත් වැදගත් යටිතල පහසුකම් ඉලක්කකර ගනිමින් විශාල ප්‍රහාර මාලාවක් ආරම්භකළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් ඉරාන රජයේ පාලන මධ්‍යස්ථාන, ආරක්ෂක අංශවල මූලස්ථාන සහ සන්නිවේදන මධ්‍යස්ථාන විනාශ කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී ඇත.

-----------------

Update - 11.22 AM

ඊශ්‍රායලයේ බටහිර ගලීලි ප්‍රදේශයට ඉහළින් ගිය ඩ්‍රෝන යානා දෙකක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සාර්ථකව විනාශ කර ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය එල්ල වීමට පෙර එම ප්‍රදේශයේ අනතුරු ඇඟවීමේ සයිරන් ශබ්ද නිකුත් කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

-----------------

Update - 10.55 AM

අතරමං වී සිටින මගීන් වෙනුවෙන් ඕමානයේ මස්කට් (Muscat) සහ සෞදි අරාබියේ රියාද් (Riyadh)නගරවල සිට අද සිට විශේෂ සහන ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් ගුවන් සේවය තීරණය කර ඇත.

------------------

Update - 10.45 AM

මැදපෙරදිග කලාපයේ උත්සන්න වන යුද්ධයට, තම හමුදා සහභාගීත්වය ප්‍රතික්ෂේප කළ නොහැකි බව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

...........................

Update - 10.19 AM

දොහා හි අමෙරිකානු තානාපති කාර්යාලය අසල ජීවත් වන පදිංචිකරුවන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් මේ වනවිට සපයා දී ඇති බවද X නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
.....................

Update - 09.20 AM

අද (05) අලුයම ඉරානයෙන් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව එරට හදිසි සේවය උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කර තිබේ.

.....................

Update - 08.55 AM

අමෙරිකානු තානාපති කාර්යාලය අවට ජීවත් වන පිරිස ඉවත් කරගැනීමට කටයුතු කළ බව කටාර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි. 

තාවකාලික පූර්වාරක්ෂව සඳහා මෙම පියවර ගෙන ඇති බවත් එම පුද්ගලයින් සුදුසු නවාතැන් පහසුකම් සපයාදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 

.....................

Update - 07.55 AM

යුද්ධයේ ආරම්භක දිනවලදී කුවේටයේ ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය පස්වන සහ හයවන සොල්දාදුවන්ගේ අනන්‍යතාවය පෙන්ටගනය විසින් තහවුරු කර තිබේ.

.....................

Update - 07.31 AM

කුවේට් ප්‍රහාරයෙන් මියගිය බවට විශ්වාස කෙරෙන හයවන සොල්දාදුවාගේ අනන්‍යතාවය පෙන්ටගනය නිවේදනය කර තිබේ.

............................

Update - 07.04 AM

කුවේට් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නෞකාවක් අසල විශාල පිපිරීමක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තෙල් කාන්දුවක් සිදුව ඇතැයි එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම (UKMTO) පවසයි.

.........................

Update - 06.25 AM

සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 
.........................

Update - 04.17 AM

වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු ලෙස බෝම්බ හෙළීමක් සිදු කර ඇති බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් පවසයි. 
.......................

Update - 03.45 AM

ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන මිලිටරි ක්‍රියමාර්ග සීමා කිරීමට එරට සෙනෙට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබේ. 
.........................

Update - 02.31 AM

සිය රටට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසට කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි, ඉරානයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 
.........................

Update - 01.02 AM

ඉරාකය පුරා විදුලිය බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉරාක ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරන්නේ, පළාත්වල විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවය.

...........................