බාල ගල්අඟුරුවලින් තක්සේරුගත සෘජු පාඩුව රු. මිලියන 7672 ක් - ලංවිම

බාල ගල්අඟුරුවලින් තක්සේරුගත සෘජු පාඩුව රු. මිලියන 7672 ක් - ලංවිම

February 23, 2026   09:50 pm

ලංකා විදුලිබල මණ්ඩලය, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාව වෙත යොමුකළ ලිපියේ දැක්වෙන පරිදි රජය ගෙන්වූ ගල්අඟුරු නැව් අටේ බාල ගල් අඟුරුවලින් තක්සේරුගත සෘජු පාඩුව රුපියල් මිලියන 7,672 කි.

මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක වන්නේ ගල්අඟුරු දහනයෙනි.

ඒ සඳහා ආනයනය කෙරුණු නෞකා 8 ක ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව පසුගියදා ඊට අදාළ රසායානාගාර තත්ත්ව වාර්තා මගින් අනාවරණ වීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය.

මෙවන් පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාව වෙත ලිපියක් යොමුකර ඇත.‍

මෙම  නෞකා අටේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතයෙන් සිදුකරන විදුලි ජනනය මගින් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවිය හැකි තක්සේරුගත සෘජු පාඩුව එමගින් වාර්තා කර තිබුණි.

ඒ අනුව පළමු නෞකාවෙන් රුපියල් මිලියන 595.1 ක්, දෙවන නෞකාවෙන් රුපියල් මිලියන 288.5ක් සහ තුන් වන නෞකාවෙන් රුපියල් මිලියන 1,047.4ක් , සිව්වැනි නෞකාවෙන් රුපියල් මිලියන 865 ක් වශයෙන් සෘජු පාඩුවක් සිදුවන බවට ගණනය කර ඇත.

එමෙන්ම පස්වැනි නෞකාවෙන් රුපියල් මිලියන 1,144.2ක් , හය වැනි නෞකාවෙන් රුපියල් මිලියන 1,197.7ක්  , 7වැනි නෞකාවෙන් රුපියල් මිලියන 974.9ක් සහ 8 වැනි නෞකාවෙන් රුපියල් මිලියන 1,559.3ක් වශයෙන් සෘජු පාඩුව තක්සේරු කර තිබේ.

මෙලෙස එම නෞකා අටේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවලින් සිදුකෙරෙන විදුලි උත්පාදනයේදී ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවෙතැයි ගණන් බලා ඇති සෘජු අලාභය රුපියල් මිලියන 7600කට අධිකය.

මෙවන් පසුබිමක අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා අනාවරණය කළේ, බාල ගල්අඟුරු සහිත නැව් 8ක් ගෙන්වා තිබියදී රජය ගෙන්වූ 9වැනි නෞකාවේ ගල්අඟුරුද ප්‍රමිතියෙන් තොර බව දත්ත කේන්ද්‍රීය වාර්තා මගින් තහවුරු වී ඇති බවය.