මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන එල් මෙන්චෝ ඝාතනය කෙරේ
සයුරෙන් එතෙර

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන එල් මෙන්චෝ ඝාතනය කෙරේ

February 23, 2026   11:06 am

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන "එල් මෙන්චෝ" එරට හමුදා මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකානු හමුදා විසින් සිදු කළ මෙහෙයුමක් අතරතුර ඝාතනයට ලක්ව ඇති බව එහි දැක්වෙයි. 

ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වනනෙමේසිඕ ඔසෙගුරා නොහොත්, ‘එල් මෙන්චෝ‘අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. 


සිද්ධියත් සමග එම සංවිධානයේ සාමාජිකයින් විසින් එරට ප්‍රදේශ රැසක මාර්ග හරස් කර රථවාහන ගිනි තබා ඇති බවට ද සඳහන්ය. 

‘එල් මෙන්චෝ‘අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 15ක මුදලක් ලබාදෙන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ද මීට පෙර ප්‍රකාශ කර තිබුණි. 

ඒ, අමෙරිකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නෙකු ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙනි. 

මෙක්සිකානු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ද අමෙරිකාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව බව මෙක්සිකානු බලධාරීන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. 

එහිදී ඇති වූ ගැටුම්වලදී ජාලිස්කෝසංවිධානයේ සාමාජිකයින් සිව්දෙනෙකු මියගොස් මෙක්සිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.