හදිසි නීතිය පනවා තිබියදීත් සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතුයි - සජිත්
February 15, 2026 11:57 am
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනුයේ අධි ආරක්ෂිත කලාපවල පවා චිකාගෝ ක්‍රමයට සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන රජය රටට පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවය.
අදාළ ඝාතනය සම්බන්ධ පුවත ඇසීමෙන් තමන් ඉමහත් කම්පනයට පත්වූ බවත් මෙම සිදුවීම රටේ මේ මොහොත් මුහුණ දී ඇති බරපතළ ව්‍යවසනකාරී තත්ත්වය පිළිබඳව යළිත් අනතුරු ඇඟවීමක් සිදුකරනු ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.
වර්තමාන රජය බලයට ඒමට ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨයක් වූයේ නීතිය හා සාමය බිඳවැටීම බවත් ඒ පිළිබඳව ඉගැන්වීමට පවා හැකියාව ඇතැයි වේදිකාවල කළ ප්‍රකාශ මේ මොහොතේදී යළි යළිත් සිහිපත් වන බවත් පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසනුයේ මෙම කුරිරු ඝාතනය රටේ නීතිය හා සාමය බිඳ වැටී ඇති බවට මෙන්ම එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවට තවදුරටත් පෙන්නුම් කරන බවය.
නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග යනු හුදෙක් මාධ්‍ය සංදර්ශන පමණක් බව මේ තුළින් ඉතාමත් පැහැදිලි වන බවත් පාතාලය මර්ධනය කරන බව කියූ රජය සිදුවන සෑම ඝාතනයක්ම පාතාලය මත හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත සම්බන්ධ කර තම වගකීමෙන් මිදීමට දරනා උත්සාහය හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
එමෙන්ම මෙම ඝාතනය තුළ රට තුළ නීතියේ ආධිපත්‍යයට සහ නීතියේ ක්‍රියාකාරීත්වයට එල්ල වන දරුණු අභියෝගයක් බවත් පෙන්වා දී ඇති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනුයේ රටේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට නීතිය හා සාමය පවත්වා ගෙන යාමාත් යුක්තිගරුක ජන සමාජයක පැවැත්ම සඳහා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම රජය සතු අත්හළ නොහැකි වගකීමක් වන බවය.
එබැවින් මෙම කුරිරු ඝාතනය පිළිබඳව නොපමාව පරීක්ෂන පවත්වා වගකිව යුත්තන් නීතියේ රැහැනට හසමු කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් අධි ආරක්ෂිත කලාපයක පවා බිඳ වැටී ඇති ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය නොපමාව පියවර ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
එමෙන්ම රජය විසින් හදිසි නීතිය පනවමින් රට පුරා ත්‍රිවිධ හමුදාව පවා නීතිය හා සාමය සුරැකීමට කැඳවා ඇති මොහොතක මෙවැනි සිදුවීම් අධි ආරක්ෂිත කලාපයක පවා සිදුවීම පිළිබඳව ආණ්ඩුව නොපමාව රටට කරුණු පැහැදිළි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.
