සියලුදෙනා සහෝදරයන් සේ එකට එක්වී මෝහය පරාජය කිරීමට සටන් කළ යුතුයි -දිලිත් ජයවීර
February 15, 2026 07:28 am
අප සියලුදෙනා ජාති, ආගම්, කුල භේද නොතකා සහෝදරයන් සේ එකට එක්වී, මෝහය පරාජය කිරීමට සටන් කළ යුතු හෝරාව එළැඹ ඇතැයි සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
අදට (15) යෙදී ඇති ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කර ඇත.
- උපුටා ගැනීම -
ලෝකවාසී හින්දු බැතිමතුන්, ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මහා ශිව රාත්‍රි දිනය දිනයි.
මහා ශිව රාත්‍රියෙන් සංකේතවත් වන්නේ හින්දු බැතිමතුන්ගේ ත්‍රිමූර්ති දෙවියන් අතරින්, ශිව දෙවියන් සිය බිරිඳ වූ පාර්වතී සමඟ එක්වීම සහ ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්ථනය ඉදිරිපත් කිරීමත් සමඟය.
මෝහය නැමැති අන්ධකාරය පරදා ජීවිතය ජය ගැනීම සැමරීම මහා ශිව රාත්‍රියේ දී සිදු වේ.
ඒ උතුම් අරමුණ සිතෙහි දරා රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදෙමින් ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීම අද දිනයේ හින්දු භක්තිකයන් සිදුකරයි.
මේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා, රටක් ලෙස අපගේ දෑස් වසා ඇති මෝහයේ අඳුරු තිරපට ඉරා දැමීමට ජාතියකට ප්‍රඥාව උවමනා වී ඇති මොහොතකි.
අසත්‍ය, බොරුව, රැවටීම රජ කර ඇති මොහොතකි. සූක්ෂමව මහ පොළවේ මිනිසුන් අතර, සංස්කෘතීන් අතර බෙදීම් පැල කර ඇති මොහොතකි.
මේ අප ජාති, ආගම්, කුල භේද නොතකා සහෝදරයන් සේ එකට එක්වී, මෝහය පරාජය කිරීමට සටන් කළ යුතු හෝරාවකි.
ඒ අනුව මහා ශිව රාත්‍රියෙන් ලබා දෙන පණිවිඩය අප සියලූම දෙනාට අතිශය වැදගත් වේ.
අද දැල්වෙන පහන් ආලෝකය සේම අප හදවත් තුළ සාමය, සතුට සහ සහෝදරත්වය ආලෝකමත් වෙමින්, මෝහය, බෙදීම් සහ දුප්පත්කම දුරුවේවායි ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී සියලූම හින්දු භක්තික සහෝදර සහෝදරියන්ට, ඔවුන්ගේ සිතුම් සඵල වී සතුට, සාමය උදාවන මහා ශිව රාත්‍රී දිනයකට ආසිරි පතමි.
-උපුටාගැනීම අවසන් -
