රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ සැකකාරියක් තොරතුරු රැසක් හෙළිකරයි

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ සැකකාරියක් තොරතුරු රැසක් හෙළිකරයි

February 12, 2026   08:26 am

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරුණු සැකකාරියකගෙන් අනාවරණය වූ තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය, ගිනි අවියක් හා ව්‍යාජ අංක තහඩු ඇතුළු දේපොළ රැසක් සොයා ගැනීමට ගල්කිස්ස පොලිස් නිලධාරීන් සමත්වී තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්මලාන ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකර තිබුණි.

එම සැකකාරියගෙන් අනාවරණය වූ තොරතුරු මත ඊයේ (11) දින සවස විමර්ශන නිලධාරීන් විසින් ගල්කිස්ස පොලිස් වසමේ පිරිවෙන පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කර තිබුණි.

එම නිවසේ තිබී,

• අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 260ක්, මුදල් රුපියල් ලක්ෂ 08ක්
· ගිනි අවියක්
• ජීව පතොරමක්
• යතුරුපැදි සඳහා භාවිත කරන ඉදිරිපස හා පිටුපස ව්‍යාජ වාහන අංක තහඩු 08ක්
• ත්‍රිරෝද රථ ඉදිරිපස හා පිටුපස ව්‍යාජ අංක තහඩු 04 ක්
· මෝටර් රථ ඉදිරිපස හා පිටුපස ව්‍යාජ අංක තහඩු 18 ක්
• ඉලෙක්ට්‍රොනික තරාදියක්
• රන් මාල 02ක්
• රන් වළල්ලක්
• රන් මුදුවක්
යනාදිය පොලිස් භාරයට ගෙන තිබේ.

ඉහත දේපොළ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් මෙම සැකකාරියට ලැබී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

ගල්කිස්ස පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.